අර්ධ නාරී, කුෂාන් ද සිල්වා
මුලින්ම කිව යුතු කරුණු කිහිපයක් ඇත. මට අර්ධ නාරී කියැවීමට පෙළඹුමක් ඇති කරනු ලැබුවේ, එහි නම, එහි පිට කවරය හා අර්ධ නාරී ප්‍රකාශකවරු විසින් වත්පොතේ යොදා තිබූ සටහනකි. එහි නම දුටු දා සිට එය මගේ කුහුල ඇවිස්සීමට සමත් වූ අතර පිට කවරය නෙත් සිත් ආකර්ෂණය කරන සුළු විය. 'මං මේක අනිවාර්යයෙන්ම කියවනවා' යන්න මගේ සිතේ ඇති කළේ ප්‍රකාශකවරුන්ගේ සටහනයි. පැරණි ඉන්දියානු සංස්කෘතිය හා බැඳි පොත් රැසක් ආශාවෙන් රස විඳි මා අර්ධ නාරි කියැවීම ඇරඹුවේද බොහෝ ආශාවෙනි.
අර්ධ නාරී, ඉන්දියානු ගැමි යුවළක් හා අර්ධ නාරීශ්වර උත්සයවය නමැති විශේෂ උත්සවයක් කේන්ද්‍රකොට ගෙන ලියැවුණකි. කාලි හා පොන්නා විවාහ වී දොළොස් අවුරුද්දක් ගත් වුවත් තවමත් ඔවුන්ට දරුවන් නැත. දරුවකු ඉල්ලා ඔවුන් නොකරන පුද පූජාවක්, භාර හාරයක් නොමැත. එහෙත් ඔවුන්ට දරු ඵල ලැබෙන සෙයක් පෙනෙන්නට නැත. එබැවින් අවසානයේ දරුවකු ලබා ගැනීම සඳහා පොන්නාව අර්ධනාරීශ්වර දෙවිඳුන් උදෙසා සිදු කෙරෙන උත්සවයට යැවීමට පොන්නාගේ හා කාලිගේ මව්වරු හා පොන්නාගේ සොයුරා වන මුතූ සූදානම් වන්නේ බොහෝ අපහසුවෙන් යුතුව කාලිගෙන් අවසර ලබා ගනිමිනි. (කතාවේ සිදු වන්නේ කුමක්ද යන්න ඔබ කියවා බැලිය යුතුය)
කාලිගෙන් අවසර ලබා ගැනීම බොහෝ අපහසු වන්නේ එය තරමක් අමුතු හෝ අසැබි ආකාරයේ උත්සවයක් බැවිනි, අර්ධ නාරීශ්වර දෙවියන් යනු දෙවිවරුන් දෙදෙනෙකුගේ සංයෝජනයකි. එනම් මෙම දෙවියා අඩක් පිරිමි වන අතර අනෙක් අඩ කාන්තාවක් වේ. දරුඵල නොමැති කාන්තාවෝ මෙම දෙවිඳුන්ට භාරහාර වෙමින් දරුවන් යදිති. මෙම උත්සවයේ එක් රැයක් ගැහැනු පිරිමි ඇසුර පිළිබඳ නීති ලිහිල් වී ඕනෑම ගැහැනියක් හා පිරිමියෙක් අතර ස්වකැමැත්තෙන් සිදු වන කායික එක්වීම අනුමත කෙරේ. දරුවන් නැති කතුන්ට දරුවන් ලබා දේ යැයි විශ්වාස කෙරෙන හෙයින් එම රැයෙහිදී ඕනෑම පිරිමියෙක් දෙවියක් ලෙස හැඳින්වේ.
අනෙක් බොහෝ ඉන්දියානු කතා වල මෙන්ම මෙහි ද දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ තුනකි.
1.මිථ්‍යා විශ්වාස 2. ගැමි පරිසරය හා ගැමියන්ගේ පොදු දුර්වලතා
3.ගැමි පරිසර වර්ණනා
ගැමියන් කෙතරම් යල් පැන ගිය මිථ්‍යා විශ්වාස වල එල්බ සිටිනවාදැයි කිවහොත් කතාව අතරතුර මට සිතෙන් සිනා නැගි අවස්ථා රැසක් විය. එම නිසාම කතාවට එක් වන්නේ හාස්‍ය රසයකි. එය ඔවුන්ගේ මෝඩකම හා අන්ධ භක්තිකභාවය යන දෙකෙහි සම්මිශ්‍රණයක් යැයි සිතිය හැකිය. ගැමි පරිසරයේ අන්‍යෝන්‍ය සබඳතා, චාරිත්‍ර වාරිත්‍ර, උත්සව හා විශේෂයෙන්ම ඔවුන්ගේ ගති ස්වාභාවයන් මැනවින් විදහා දැක්වීමට කතුවරයා සමත්ව ඇත. නිදසුනක් ලෙස, දෙවියන් කෙරෙහි මහත් භක්තියෙන් වැඳුම් පිදුම් කරන යහපත් ගැමියන්ම අන්‍යෝන්‍ය අවබෝධයෙන් දිවි ගෙවන යුවළක් අතර ගැටුම් ඇතිකිරීමට තරම් සාහසික වේ.
කතුවරයා වඩාත්ම සාර්ථක වී ඇත්තේ පරිසර වර්ණනාවන් ඉදිරිපත් කිරීමේදීය. පාඨකයාව එම පරිසරය තුළ ගිල්වීමට කතුවරයා සමත්ව ඇති අතර සුන්දර චිත්ත රූප මවා ගැනීමටද සලස්වා ඇත. අතීත විස්තර කතා (flashback) නිසා කතාවේ ගලා යෑමට යම් බාධාවක් විණැයි මාගේ හැඟීමයි. අවසානයේ, කුතුහලයක් දනවමින් කතාව අවසන් කර ඇත. අර්ධ නාරි, ඉන්දියානු ගැමි සමාජය වෙත එල්ල කරන ලද සෝපහාසය ගැබ් වූ පහරක් සේම, කතාවේ කියැවෙන අයුරු සමාජ,සංස්කෘතීන් පවතින සියළුම ජන සමාජ වලට එල්ල කරන ලද කණේ පහරකි. (එය අපේ සමාජයට අදාළ වන්නේද යන්න අර්ධ නාරි කියවා තීරණය කළ යුතුය)
පරිවර්තනය ඉතා සාර්ථක වන අතර, මෙය ඉංග්‍රීසි පරිවර්තනයෙන් සිංහල බසට කරන ලද පරිවර්තනයක් වුවද මුල් කෘතියේ රසය ඒ ආකාරයටම සිංහල පාඨකයන්ට ලබා දීමට Kushan De Silva මහතාට හැකි වී ඇත. එහෙත්, ඇතැම් කරුණු සම්බන්ධව පාඨකයාටම සිතාගන්නට නොදී යම් විස්තරයක් දැක්වූයේ නම් මෙය වඩා සාර්ථක වන බව හැඟේ.
(නිද: අර්ධ නාරීශ්වර උත්සවය, පොන්නා ඇගේ සැමියා වන කාලිට මාමා යනුවෙන් ඇමතීම)


Comments
Post a Comment