නෑසුණු ගැහැනිය.
අක්කුගේ නළලේ විශාල කුම්කුමාවක් විය. (කුම්කුමා-විවාහක හින්දු කාන්තාවන් නළලේ ආලේප කරන රතු පැහැය) එහෙත් ඇයට සැමියෙක් සිටියේ නැත. ඇගේ කර වටා කළු පැහැති ලී පබළු වලින් සැදි මාලයක් විය. කළු පබළු මාලය නාගාන්දිකාවේ,එනම් බිත්තියේ තිබූ ලී රාක්කයේ කොණක තබා නිදැල්ලේ ඇවිද යාමේ පුරුද්දක් ද අක්කුට තිබිණි.
'අක්කූ, කෝ ඔයාගේ මනුස්සයා?' කවරෙකු හෝ විමසූ විට කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට ඔවුන්ව පත් කිරීමට ඇයට හැකිවිය. එහෙත් සෑම විටම එසේ නොවේ. අනෙක් වෙලාවන්හිදී ඇයව කෝප ගන්වන කරුණ කුමක් වුවත් හිස ඇල කර සොලවමින් උඩඟු සිනාවක් පා නිහඬව සිටීමේ සිරිතක් ඇයට තිබිණි.
ඇයව සෑමවිටම දැකිය හැකි වූයේ ඇගේ 'ටුවාලය' සමඟ ය. ඇයට අනුව ටුවාලය යනු ඇයගේ ලේන්සුවයි. එය මිනිසකුගේ ලේන්සුවක් විය. එය කාගේදැයි, එය ඇගේ අතට ආවේ කෙසේදැයි කිසිවකු දැන සිටියේ නැත. ඒ ගැන වද වීමට කිසිවකුට අවැසිතාවක් තිබුණේද නැති අතර අක්කු සෑම විටම ඇගේ ටුවාලය සමඟ දැකිය හැකි බව පමණක් පිළිගැනිණි. එය කොහේ හෝ දැමූ විටෙක, වැටුණු විටෙක, නැති වූ විටෙක, සදාකාලයටම එය සෙවීම හැර අක්කුට වෙන වැඩක් තිබුණේ නැත. ගෙදර වැඩපළ බල්ලට ගියාවේ! සෑම අහුමුල්ලකටම එබී බලමින් තම ටුවාලය සෙවීම ඈ නැවැත්වූයේ නැත.
අජ්ජයියාගේ නිවසේ කිසිවෙක් ස්වාධීන නොවීය. කවරෙකුට හෝ මතයක් ප්‍රකාශ කළ හැකි වූයේ නම් ඒ වාසු චික්කප්පාට (බාප්පා) ය. කවරෙකු හෝ කතා කිරීමට එඩිතර වූයේ නම් ඒ ඔහුගේ බිරිඳ වූ භානු චික්කී (පුංචී) පමණි. කිසිවකුට හෝ බිය නුවූ කවරෙකු හෝ වූයේ නම් ඒ දොඩ්ඩජ්ජායියාගේ (සීයා) බාල සොයුරිය වූ දොඩ්ඩත්තේ ය. සියළු දෙනාටම ඈ දොඩ්ඩත්තේ වූවා ය. සීමා මායිම් කිසිවක් නැති අයෙකු වූයේ නම් ඒ නිකමියක වූ අක්කු-පොට්ටු ය. තමන්ට රිසි ලෙස කරක් ගසන ඇයට ඔවුන් සමාව දුන්නේ 'එහෙමත් නැත්තං ඉතිං ඒකි කාලෙ ගෙවාගන්නේ කොහොමද?' යැයි මුමුණමිනි. 'නිකමිය' යන්නෙන් ඇය ඉස්සර පටන්ම සැබෑම මෝඩියක වූයේ යැයි අදහස් වූයේ නැත. කිරි හැඳිගෑම, වෑංජන වලට ලුණු හා කුළුබඩු යෙදීම, වතුර ඇදීම, සේද හා ආභරණ වලින් සැරසී විවාහ මංගලෝත්සව හා 'උපනයනම්' සඳහා යෑම ආදියට නිවසේ අනෙක් අය සිටියහ. කරදරකාරී වගකීම් රැසක් අතරේ වුවද, වචනයක් හෝ නොදොඩමින්, ව්‍යාපාර කටයුතු වලට ගොස් අජ්ජයියාට වාර්තා ලබා දෙමින් නිවසේ ටැඹවල් මෙන් සිටියේ පිරිමි උදවිය ය.
මෙයාකාරයට කිසිදු සොයා බැලීමකින් තොරවෙමින් සිටි අක්කුට කාගේ හෝ නිවෙසකින් රාත්‍රී ආහාරය සඳහා ලැබුණු කිසිදු ඇරයුමක් මඟ හැරී තිබුණේ නැත. කිසිදු දීප්තියක් නැති, ක්ෂණික බැලුම් හෙළමින් අවිවේකීව එහා මෙහා යන දෑස් ද, ඉදිරියට නෙරූ, කැපී පෙනෙන දත් පෙළ වසා ගැනීමට නොනවතින උත්සහයක යෙදෙන තොල් ද සහිත, දකුණු පසට වන්නට පීඩාකාරීව එල්ලා වැටුණු මුහුණෙන් යුතු, උසින් අඩි හතරකටත් වඩා අඩු වූ අක්කු, නාස්පුඩු වලට දුම් කුඩු උරමින්, කියතක් ඇගේ නාසයේ සිරව ඇතිවාක් මෙන් ටුවාලයෙන් දැඩිව තම නාසය අතුල්ලමින්, අතකින් මුළු මූණම පිස දමා, තම දිගු සාරියෙන් එය පිසලාගනිමින් පිටතට බට විට 'පැදුර දිගෑරපල්ලා! අවානෙන් පවන් ගහපල්ලා! ඉතිං ඉතිං, අද රෑ කෑම කොහෙදැ' යි විසුළු වදන් දෙඩීමට බොහෝ අය වූහ. 'පෙරහැර යන්නෙ කොහෙටදැ'යි ඇගෙන් ඍජුවම ඇසීමට නිර්භීත වූයේ කිහිප දෙනෙක් පමණි. හොඳින් සිටියේ නම් ඇතැම් විට ඇය උත්‍තරයක් දෙයි. එසේ නැතිනම් 'උඹේ සීයගෙ අවමඟුලට' කියමින් නපුරු ලෙස කඩා පැන භූතයෙක් මෙන් වේගයෙන් යන්නට යයි.
පහතට නමා ගත් ඇගේ හිස ඔසවා නොගැනීම නිසා වරක් ඇය තම ආහාර මතට ඇද වැටුණු අතර, ඒවා ඉහිරී ගියේය. භක්ෂාව හෙවත් විශේෂ රසකැවිලි ලබා ගැනීම කෙරෙහි ඇය බොහෝ සැලකිල්ලක් දැක්වූවා ය. ඇය ඒවා තම වමතට ගෙන දුම් කුඩු වලින් පෙඟුණු සුපුරුදු ටුවාලයේ ඔතාගෙන ගෙදරට ගෙනැවිත් ඉස්තෝප්පුවේ කොණක වාඩි වී ඉන් කැබැල්ලක් කපුටෙකුටවත් නොදී සම්පුර්ණයෙන්ම ගිල දමා අවසන් කළා ය.
දරුවකුට නම් තැබීමේ උත්සව වල හා ගැබිණි සමයේ හත්වන මාසයේ පවත්වන, ගැබිණියගේ ආශාවන් සංසිඳුවීමට ආහාර පාන ලබාදෙන සීමන්ත උත්සව වල රාත්‍රී භෝජන සඳහා ඇරයුම් ඈ කවදාවත් මඟ හැර නොගත් ඒවා විය.
ගිනිකෙළි මල්, ඉද්ද මල්, ක්‍රිසැන්තිමම් මල් ආදී මල් වර්ග හතකින් යුත් මල් වැල් වලින් තම කෙස් කළඹ සරසාගෙන අදාළ කාන්තාව මෙන්ම සිරිත් විරිත් ඉටු කරමින්, යම් බරකින් තැලී පොඩිවූවකුගේ පෙනුමෙන් යුතුව තරුණ ගැබිණි ස්ත්‍රිය අසළින් ඉඳගන්නා ඇය මඳක්වත් එහා මෙහා වන්නේවත් නැත. ඇයව නොහඳුනන හෝ තරුණ ස්ත්‍රියගේ පවුලේ කවරෙකු හෝ ඇය සිටිනු දැක, 'කවුද මේ ගෑනි? හරියට නිකං කිළුටු කොණ්ඩයක් තියෙන දේවම්මා කෙනෙක් (අර්ධ දේවතාවියක්) වගේනෙ. මේ ගෑනිව එළියට ඇදලා දාපල්ලා' යැයි කියමින් විරුද්ධත්වය පායි. එවිට ඇයගේ පවුලේ අයෙක් පැමිණ 'අක්කූ, මෙහෙ එන්නකෝ, අර එළියෙන් ඉඳගන්නකෝ' යැයි බියසුළුව මුමුණන අතර අක්කු ඔවුන්ව නෑසුකන්ව සිටියි. නම් තැබීමේ උත්සවයකට ගියත් ඇයගේ හැසිරීම මෙසේ ය. තොටිල්ල පැද්දවීම සඳහා තදින් අල්ලාගන්නා තොටිලි ලණුව ඈ අතාරින්නේ නැවත නිවෙසට යා යුතු වෙලාව පැමිණි විට ය. අමුත්තන් පිටව ගිය පසු ඇතැම් විට ඇය නැළවිලි ගීයක් දෙකක් ගයන්නීය. ඇය තම ගීය උපරිම හඬින් ගයන විට, ඇය වටා සිටින ඇතැම්හූ සිනාව තද කරගනිමින් අවඥා සහගත දේවල් කියති.
'අක්කූ, අන්න උඹෙ කෝකිල හඬ අහන්න ඔක්කොම කපුටො ටික ජනේලෙ ළඟට ඇවිල්ලා' එසේ නොකීවේ නම් ඔවුන්ට එදින රාත්‍රියට නින්දක් නැති වේ.
සිරියාත්තේගේ විවාහය පැවැත්වුණේ එවන් අවස්ථාවක ය. විවාහ දිනයේ සිදුවූ එක් සිදුවීමක් ගැන සිරියාත්තේගේ වචන වලින්ම අසාගත යුතු ය.
'මනමාලයාගෙ පැත්තෙ කට්ටිය ඇවිල්ලා හිටියෙ, මගෙ ළඟ කවුරුවත් හිටියෙ නෑ. ඔක්කොමලා විජහට මඟුල් මණ්ඩපේට ගිහින්. මට පොඩි බයකුත් දැනුණා. ඒ වෙලාවෙ තමා අක්කු ආවෙ, 'ඕහ්, අක්කූ' මං පුදුමෙන් කෑගැහුවා. ඒ කියලා ඉවර උනා විතරයි, 'මම, මම, මේ අක්කු, නැතුව එයාගෙ හෙවණැල්ල ඇයි?' අක්කු ආපිට උත්තර දුන්නෙ හරිම සැරෙන්. එයා මට ටිකක් දුරින් හිටගෙන මං දිහා හරිම උවමනාවෙන් බලාගෙන හිටියා. 'ඔයා මොකද මේ විදියට මේ සැරසිලා ඉන්නෙ?' එයා හරිම ඕනෑකමෙන් ඇහුවා. මං මුකුත් කිව්වෙ නෑ. එයාගෙ කටහඬ ඇහුණෙ හරිම සද්දෙන්. මං එයා දිහා බලාගෙන ඉඳගෙන හිටියා. 'මෙහෙ එන්න' එයා කිව්වා. 'ඇයි?' මං ඇහුවා. 'මං කිව්වොත් එන්න කියලා ඔයා එන්න ඕනි' එයා කිව්වා. එකපාරටම මට හිතුණෙ මං කාට හරි අඬගහන්න ඕනි කියලා, ඊට පස්සෙ මට හිතුණා ආයෙ එහෙම ඕනි නැති වෙයි කියලා'
'අක්කු, ඔයාට සනීප නැද්ද?' මං ඇහුවා. එයා වචනයක්වත් නොකියා ඉක්මණට ඉස්සරහට ආවා, මං ඇස් පිල්ලමක්වත් ගහන්න කලින්, මගෙ කොණ්ඩෙ සරසවලා තිබුණ මල් ටික සේරම ගලවළා අයින් කරලා දාලා කිව්වා, 'මේ ලස්සන කෙරුවාවල් හොඳටම ඇති. ඌ ඔයාව බඳින්නෙ ඔයාගෙ ලස්සනට නම්, ඌ කවදාවත් ඔයා ළඟින් ඉන්නෑ. ඒක බිත්තියේ ලියලා තියාගන්නවා. මං මේ අවංකවම කියන්නෙ' මං පුදුමෙන් ගල් ගැහුණා. එක පොඩි වෙලාවකට හරි එයාවත් මොකද්දෝ ලස්සනකට පෙනුණා. අක්කු ලස්සනට පෙනුණා! ඒත් ඒ වෙලාවෙ එයාව පෙනුණේ විසාල යක්ෂණියක් වගේ. එක තත්පරේකට! ඒත් ඒ වෙන කවුරුවත් නෙවෙයි අක්කුමයි! මට හරි දුකක් දැනුණා, මල් ගලවළා දැම්ම හින්දා නෙවෙයි ඒ, අක්කුගෙ මැලවිච්ච මූණ දැකලා. 'හිරවෙලා මැරෙන තරම් කොච්චර රස්නයක්ද?' එයා අතකින් පවන් ගහගෙන, අනිත් අතෙන් එයාගෙ ටුවාලෙ අරන් මූණ පිහගෙන කාමරෙන් එළියට ගියා. මං මේක වාසුට කිව්වා නං එයා අක්කුට නිකං ඉන්න දෙයිද?එයා අක්කුට හොඳටම ගහලා, කළුවර කාමරේට දාලා දොර වහන්න තිබුණා. එක එක්කෙනා දිහා හොරෙන් බල බල තමන්ගෙ ලස්සනෙන් අනිත් අයව පරද්දන්න හදන මඟුල් ගෙදර ආපු අර ඔක්කොම සෙනඟ ඉස්සරහා හැමතිස්සෙම එයාගෙ ටුවාලෙන් නහය හූරන අක්කුට නිදහසේ ඉන්න දෙන්නෙ කොහොමද? ඊටපස්සෙ දොඩ්ඩත්තේ ආවා. මනමාලියක් වෙලා ඉන්න එක ගැනවත් හිතන්නෑ කියලා මට හරියට බැන්නා. ඊට පස්සෙ ආපහු මගෙ කොණ්ඩෙ පීරලා මල් වලින් සැරසුවා'
විවාහ උත්සවයට පසුදින සිරියාත්තේ පිටත් වීමට තිබූ දිනයේ අක්කු මහා කලබැගෑනියක් කළා ය.
'කොහෙද මගෙ මනුස්සයා මැරුණේ?' දැන්මම ඒ මිනිහව මං ගාවට අරන් වරෙල්ලා' ඇය නැවත නැවත කියමින් සිටියේ මේ වචන කිහිපය පමණි. නිශ්ඵල ලෙස නැවත නැවතත් ටුවාලය වනමින් ඇය ලතෝනි දුන්නා ය.
'අරෙහෙ, අරෙහෙ බලපන්, අර පිදුරු කලාල එල්ලන මඩුවෙ තියෙන සිදුර ඇතුළෙන් බලපන්' දැහැටි කූරකින් දත් පිරිසිදු කර ගනිමින් එතැන සිටි වාසු චික්කප්පා කෝපයෙන් හඬ නඟා කීවේ ඔහු වටා සිදුවන කිසිවක් නොදැන එතැන දිගෑඳී සෙමින් ගොරවමින් සිටි කෝකියා වූ බාබු බට්ටා වෙත ඇඟිල්ල දිගු කරමිනි. භානු චික්කී බෝනික්කෙක් අතින් ගෙන පැමිණියාය. 'මේං උඹෙ මිනිහා, ඌ මෙහෙ එනවා කිසි කෙනෙක් දැකලා නෑ. අක්කු, අක්කු කියලා ඌ හයියෙන් කෑගගහා හිටියෙ, ඉතිං මං ඌව මෙහෙට අරන් ආවා' බෝනික්කාව අක්කු දෙසට විසි කොට ඇය කීවා ය. එහෙත් අක්කු යටි ගිරියෙන් කෑගැසීම නැවැත්වූයේ නැත. ඇගේ කෑගැසිල්ල වැඩිවන තරමට වටේ සිටියවුන්ගේ සිනාවද වැඩි වන්නට විය.
එතැන සිටි සත්‍යා මානි නමැති අවිනීත පෙනුමැති කොට කොළු ගැටයෙක් බාබු බට්ටා වෙත දිව ගොස්, සිනාව තද කරගෙන 'බාබු බට්ටා, අර කට්ටිය කියනවා උඹලු අක්කුගෙ මිනිහා' යැයි කීවේ ය.
'අයියබ්බාහ්, මාව ඒකිට ජෝඩු කරලා? ඒ ගෑනි මගෙ අත් පය ගළවලා ලිපේ දායි, පුදුමයක් නෑ ඒකි මාව හාල් අහුරකට විකුණලා දැම්මත් ' බාබු බට්ටා ඇනුම් පද කියන්නට විය. පිරිස මත් වී ඇතිවාක් මෙන් සිනා හඬ ඉතා උස්ව නැගෙන්නට විය. ඒ අතරේ මේ වන තෙක් සිදු වූ සියල්ල කල්පනාවෙන් නරඹමින්, බිත්තියකට හේත්තු වී පුවක් ගෙඩියක් කපමින් සිටි තමන්නයියා නමැති කළු අඟුරු කැබැල්ලක් වැනි මිනිසෙක් හුන් තැනින් නැගිට අක්කු අසළට ආවේ ය. 'වස්තුවේ, මං තමයි උඹෙ මනුස්සයා, මං ආවා, උඹට මගෙන් මොනවද කෙරෙන්න ඕනි?' 'යක්ෂගාන' නාට්‍යයක ගැහැනු චරිත රඟ දැක්වීමට හුරුව සිටියෙකු මෙන් පොළඹවන සුළු අයුරින් පැද්දෙන අතරේ තම අත දිගුකොට පපුවට ගසාගනිමින් හේ සිනාව තද කරගෙන නාට්‍යානුසාරීව ඇසුවේ වටේ රැස්ව සිටියවුන් දෙස හොරෙන් බලමිනි. ඒ ක්ෂණයේම අක්කු අකුණු සරයක් සේ ඔහු වෙත පැන ඔහුව තදින් සපා කෑවා ය. පවක් සිදුකරගත් එකියක මෙන් වහා ඇතුළට නොපෙනී ගිය අක්කු කොණක තබා තිබූ වතුර කළයෙන් ගත් වතුර ජෝගුවක් ගිල දැම්මා ය. 'ඒයි තමන්නයියා, උඹෙ වලිගෙ කකුල් දෙක අස්ස ගහගෙන මෙතනින් ගිහින් උඹේ වැඩක් බලා ගනින්, උඹට ඕනි මාත් එක්ක හැප්පෙන්න ද? අර දවසක් දා උඹේ ගෑනි නිදාගත්තෙ කාත් එක්කද කියලා මං කියන්න ද?'
කිණිස්සක් ළෙලවන්නාක් මෙන් තර්ජනාත්මක කටහඬින් මොර දී කාමරයට වැදුණු ඈ ඉක්මණින් දොර වසාගත්තා ය. තමන්නයියාගේ සිනාවට තිත තබමින් තවත් සිනා රැල්ලක් කාමරය වටා පැතිර ගියේ ය.
'ඒකිට ඉන්න ඇරපන් තමන්නයියා, මේ ගෑනි මහ මෝඩියක් බව හැමෝම දන්නවා නෙව, හිත පාරගන්න එපා' වාසු චික්කයියා වහා කියන්නට විය. ඔහු උත්සහ කළේ තමන්නයියා ට අනුකම්පාව පෙන්වීමට ය. නමාගත් දණහිස් මත තම හිස තබාගෙන සිනාසිසී මේ සියල්ල නරඹමින් සමීපයේ සිටි තමන්නයියාගේ බිරිඳ, ඉකි ගැසීම වළක්වාගනු පිණිස ගුලි කරගත් තම සාරි පොට කටේ ඔබාගනිමින් වහා ඇතුළට දිව ගියා ය.
'ඒයි භානු, පලයන්, ගිහින් ඒකිව සනසවපන්, මේ ගෑනි හින්දා වැදගත් මිනිස්සුත් එල්ලෙයි'
'කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැති එකෙන් අරෙහෙ මෙහෙ ගිහින් තමයි මේ නොහොබිනා කතා ඉගෙන ගෙන තියෙන්නෙ' ඔහු මැසිවිලි නගන්නට විය.
එසේ මහා හඬක් නංවමින් දොර වසා දමා නින්දට වැටුණු අක්කු නැවත අවදි වූයේ විශාල ඔරලෝසුවෙන් පසුදා සවස එකේ පැය හඟවන විටය. 'ඒකිට මුකුත් දුක හිතෙන දෙයක් කියන්නෙපා, ඉන්න අරින්න ඔහෙ' යැයි කියා තිබුණත් අන්තන්නා නම් කුඩා කොලු ගැටයෙක්, 'අන්තිමේ දි මොකද සිද්ධ උනේ අක්කු, මොකෝ ඔයාගෙ මනුස්සයව හොයාගත්ත ද?' යි ඇසුවේ ය. 'මං ඌව වළලලා ආපහු ආවා'යි අක්කු උත්තර දුන්නා ය.
නිදි වර්ජිතව සිටීම නිසා අක්කුගේ මුහුණ ඉදිමී තිබිණි. ළඟකදී වළදැමූ නමුත් යළිත් මිනී වළෙන් නැගිට මුහුණ සෝදාගෙන ආවෙකුගේ මුහුණක් මෙන් එය දිස් විය.
'එතකොට ඔයාගෙ දරුවන්ට මොකද වෙන්නෙ?' කිසිවෙක් මිමිණුවේ ය.
'එතකොට මේ සල්ලාලයාව තියාගෙන ඉන්න එකේ තේරුම මොකක්ද? ඒක හොඳටම පැහැදිලියි නෙ' අක්කු කෙළ ගැසුවා ය.
'එහෙනං ඒ සල්ලාලයාගේ හැටි එහෙමයි...
කවරෙකු හෝ මිමිණූ අතර ඒ සමඟම සිනා රැල්ලක් පැතිර ගියේ ය.
කුම්කුමාවක් නළලේ ඇඳගෙන භයානක තිරිසන් සතෙකුගේ මෙන් ඇවිස්සුණු හිසකෙසින් යුතුව ගුලිවී කණුවකට හේත්තුව සිටින අක්කු දෙස බලමින් කැපුම් උපකරණයක ලී කොටස මත වාඩි වී හුන් දොඩ්ඩත්තේ ප්‍රීතියෙන් පිනා ගොස් සිටියා ය. කුඩා ව්‍යාජ හේතු වලින් සෑම දෙයක්ම විහිළුවට ගැනීමට හුරුව සිටින දොඩ්ඩත්තේ කෙසෙල් පොත්තක් රවුමට රවුමට කපා ඒ සිහින් කෙසෙල් පොත්ත ඇඟිල්ල වටා ඔතාගෙන 'අක්කුගෙ කුම්කුමාව හරි ලස්සනයි, මුළු ලෝකෙටම අක්කුව ලස්සනයි' යැයි මිහිරි ලෙස ඇදපැද කීවා ය. දොඩ්ඩත්තේ, අයාලේ යෑමම සිතේ පැලපදියම්ව තිබුණු, අවසානයේ මඟ මැරී වැටුණු නාස්තිකාර සැමියෙකුව පාලනය කිරීමට හා පොළඹවා ගැනීමට උත්සහයක් දැරීමෙන් අනතුරුව 'ඒ මිනිහා ජීවත් වෙලා හිටියා නං මහා වදයක් වෙයි. ඒකා මැරුණ එකම හොඳයි' යනුවෙන් ඇය සුසුම් හෙළා තිබිණි. දැන් ඈ කාලය ගෙවා ගත්තේ, අක්කුට කවටකම් කරමින්, විශාල කොළ පැහැ වැල් වලින් නූල් කටිමින් හා වයස හැටකටත් ළං වෙමින් ඇති හෙයින් වැඩි වෙමින් ඇති කෝප ගැන්වීම් සමඟිනි. කොර ගැසීම නිසා දොඩ්ඩත්තේ හොඳින් වාඩි සිටින විට වඩා හොඳින් පෙනුණු අතර ඈ සිටගෙන සිටින විට ඇය දෙගුණයක් නැමී සිටිනවාක් මෙන් පෙනිණි.
ඇයගේ ගැයුමට සවන් දෙන අතරේම අක්කු නාසයට ඇඟිල්ල දමා වේගවත් කිවිසුමක් සමඟ විශාල සොටු කැබැල්ලක් පිටතට ගත්තා ය. 'කෝ මගෙ ටුවාලෙ?' සාරි පොටෙන් ඇඟිල්ල පිස දමා වටපිට බලමින් ඇය ඇසුවා ය.
'මං උදේ එළියට බහිනකොට ඒක හරිම සතුටෙන් ගේට්ටුවෙන් එළියට ගියා. කොහෙද උඹ යන්නෙ කියලා මං අහද්දි ඒක කිව්වා තේකක් බොන්න මන්ජගෙ හෝටලේට යනවා කියලා' සත්‍යා මානී ආපසු පැමිණ පවසා, ඇයගෙන් මෑත් වන්නැයි කියනු ලැබීමෙන් පසුව ක්ෂණික වේගයෙන් හැරී පලා ගියේ ය. ඔහුව අල්ලා ගැනීමට පස්සෙන් පන්නනු වෙනුවට අක්කු නිසලව වාඩි වී සිනාසුණා ය. මඳ වෙලාවක් සිනාසුණු ඈ තදින් නාසය සූරා දොඩ්ඩත්තේ වෙත හැරුණා ය. 'නොණ්ඩියේ, මං උඹව දුන්නක් වගේ නමලා ඉණෙ ගහගන්නවා දැනගනිං' ඇය කීවා ය.
'අනේ පිංකාර ගෑනි, මගේ මිනිහා මැරිලා අපායට ගිහිල්ලා, එහෙම වෙලත් අඩු තරමෙ මං මේ වෙනකං හරි ජීවත් උනා. නිකං මගෙ තරහ අවුස්සන්නෙපා' අසරණ සතා යැයි හුස්ම යටින් කොඳුරන අතරේ දොඩ්ඩත්තේ කීවේ සමච්චල් සහගත ස්වරයෙනි.
'ඇයි අසරණ? මං මොකද කරේ? පාරවල් ගාණෙ කඩසෝරු කකා මගේ මිනිහා රට පුරහම ඇවිදින්න ගියා කියලා මං මිනිහා මැරිච්ච කනවැන්දුමියක් වෙන්නෑ. මට මොකටද අනුකම්පා කරන්නෙ? අර මේ ළඟක ඉන්න තිමප්පායියා මට කරදර කරන්න හදද්දි ඌත් එක්ක රණ්ඩු කරලා ඌව වීසි කරලා දැම්ම ගෑනි මං. අහගනිං, අහගනිං මයෙ අම්මා...'
ඈ කියන්නට තිබුණු අනෙක් දේවල් අනුමාන කරන්නට ඕනෑම කෙනෙක්ට හැකිවන්නට තිබිණි. එහෙත් එසැණින්ම දොඩ්ඩජ්ජයියා පැමිණියේය. ඔහුගේ රිටේ හා බර අඩි වල හඬ යාන්තමට ඇසෙත්ම එතැන රැස්ව සිටි බොහෝ දෙනෙක් අතුරුදන්වී තිබිණි.
'ඒයි වාසු!'
හනුමන්තා පියඹන්නාක් මෙන් වාසු චික්කයියා පැමිණියේය.
'මෙන්න මේක අරගෙන අර ගෑනිට හොඳ පාරක් දීපන් බඩ බොකු එළියට පනින්නම'
දොඩ්ඩජ්ජායියාගේ ඒ වචන ඇසෙත්ම සැබෑවටම පහර කෑමෙන් ඇගේ සිරුරේ පළු දැමුවාක් මෙන් වහා නැගිටගත් අක්කු, 'අයියයියෝ මුං මාව මරණවෝ' යි කෑගසමින් කොණේ වූ කාමරයට දිව ගොස් දොර අගුළු දමා ගත්තා ය.
අක්කු සිරියාත්තේගේම වැඩිමහල් සොයුරිය වූවා ය. එහෙත් ඇය සිරියාත්තේට පවා අක්කුම වූවා ය. එබැවින් අද ඉපදෙන බිළිඳෙකු පවා ඇයට අක්කු යැයි ඇමතීමට ඉඩ තිබිණි. අමතන ආකාරය ගැන සැලකිල්ලක් දක්වන තාක් සැබෑම නෑදෑකම් වලින් ඇමතීම් සිදුවූයේ නැත. අක්කු හා සිරියාත්තේ අතර විශාල වයස් පරතරයක් තිබුණා විය යුතු වුවත් සිරියාත්තේටත් වඩා අක්කුව තරුණ පාටට පෙනුණි. පවුලේ වැදගත් අවස්ථා සිරියාත්තේගේ ගණන් බැලීමට අනුව මා මුහුකුරා
'කෙල්ලේ, කවුරුහරි ආදරෙන් බලාගන්න ඕනි දෙයක් නැති උනාම මැරුණා වගේ තමා. ඒත් ඔළුව අවුල් කරගන්නැතුව තියාගන්න ඕනි. එහෙම නැත්තං ඒක වදපු අම්මා තාත්තටත් වදයක්. මුළු ලෝකෙටම වදයක්'
අක්කුගේ සැමියා සන්නාසියෙක් පසුපස ගියදා සිට ඇගේ දරු පිළිසිඳ ගැනීම් වල මවාපෑම් අසත්‍යයක් බව ඇයට කවදාවත් වැටහුණේ නැත. දිනක්, උඩට පහළට දුවමින්, නිවසට අඩිය තබන කවරෙකුට වුවත් ඇයට බඩේ කැක්කුමක් ඇති බව කෑගසා කියමින් අක්කු මහත් කලබලයක් ඇති කළාය.
'මං ඔය බඩේ කැක්කුම හොඳ කරන්නම්' කිවූ දොඩ්ඩජ්ජයියා ඇගේ අත්ලවල් වලට හොඳ පහරවල් කිහිපයක් දුන් අතර, 'අප්පා, මගෙ දරුවා මැරෙයි, උඹ අපායටම යන්නෝනි' යනුවෙන් කෑගසමින් ඇගේ කුස ආරක්ෂා කරගන්නට මෙන් අක්කු ඉදිරියට නැමුණා ය. එවන් පහර කෑමකින් අනතුරුව, දවස් පහළොවක් යනතුරු කෙඳිරි ගාමින් හා මැසිවිලි කියමින් ඇය තම කාමරයෙන් පිටතට නෑවිත් එතුළම ගත කරන්නී ය. ඇය සිටි කොණේ කාමරය ඉවතලන සියළු දෑ දමන්නක් විය. එය කෙතරම් කුඩාදැයි කිවහොත් එතුළට ඇඟිල්ලක් ගැසීමට පවා ඉඩක් නොවීය. එය, අනෙක් සියල්ල ගොඩනැංවීමෙන් අනතුරුව මුල්ලකින් ඉතුරු වූ පටු ඉඩක් වීය. එහි ප්‍රේත භූත කුම්භාණ්ඩයින් පවා සිටින බවට කතාවක්ද විය.
වරක් අප ගෙතුළට වී සෙල්ලම් කරමින් සිටියදී කුඩා කිංකිණි හඬක් එතුළින් ඇසෙන්නට විය. අපේ උගුර කටවල් වේළී ගිය අතර වෙව්ලන දෙපයින් යුතුව සිටගත් එක කොල්ලෙක් වහා දිවගොස් වාසු චික්කයියා ට මේ ගැන දැන්වූයේ ය. වාසු චික්කයියා හා අන්තන්නා ඉක්මණින් දිව ආවෝය. අපද ඔවුන් පසුපස රහසේ ඇදෙන විට,
'බයක් සැකක් නැති හැටි මේ ගෑනු ළමයින්ගෙ, උඹලා එළියට යනවද නැද්ද?' යනුවෙන් කියමින් අපව එළවා දැමුවේ හරක් රැළක් බියවද්දා එළවා දමන්නාක් මෙනි. එතැනින් ඉවත්වූ බවක් බොරුවට ඇඟවූව ද නැවතත් හොරෙන් අපි ඔවුන් පසුපස ලිස්සා ගියෙමු. ප්‍රවේශම්කාරි ලෙස තම සුළැඟිල්ලේ තුඩෙන් දොර තල්ලු කළ ඔහු, 'ඕහ් හෝ අන්තන්නා, මේ ඉන්නෙ භූතයා' යැයි මැඩගත් සිනාවකින් යුතුව කීවේ ය. ඔහුගේ වචන ඇසෙත්ම අපි ද එතුළට එබිකම් කළෙමු. අක්කු පිත්තල වලින් සැදි තොටිල්ල තුළ වාඩි වී තොටිල්ල පද්දන්නාක් මෙන් මවාපාමින් එහි කැඩුණු දම්වැල අල්ලාගෙන සොලවමින් සිටියාය.
'ෂ්ෂ්ෂ්... කෑගහන්න එපා, දැන් තමයි ළමයා කිරි බීලා නින්දට වැටුණෙ' ඇය කීවාය. වාසු චික්කයියා මහා හඬින් සිනාසෙන්නට විය.
'අහපල්ලා කිරි හොඳට තියෙනව ද කියලා' ඇතුළට ආ දොඩ්ඩත්තේ තවත් වරක් පිරිස සිනාගන්වමින් කීවා ය. වාසු චික්කයියා ලැජ්ජාවක් නොමැතිවම ප්‍රශ්ණය නැවත වරක් ඇසූ අතර, 'ඔව්, දැනට ඇති' යි ඇය පිළිතුරු දුන්නාය.
'හරි, හරි කිසිම ප්‍රශ්නයක් නෑ, කවද්ද ළමයා හම්බ උනේ?'
'ඊයේ රෑ'
දරු උපතෙන් පසුව කොණේ කාමරයේ රැඳී සිටි භූතයා ගැන කතාවෙන් උදේ වරුව ගෙවී ගියේය. 'එහෙම ඉන්න ඇරියොත් ඒකිට ඇත්තටම යකෙක් වැහෙයි' යැයි වාසු චික්කයියා තැවුණද, 'ඒකිට ඇත්තටම කරදර කරපු යකාට ඒකි හොඳ පාඩමක් ඉගැන්නුවේ නැද්ද? ඔහේ නිකං බය වෙන්න එපා' යි දොඩ්ඩත්තේ ඔහුව අස්වැසුවාය. හරියටම පසුදා, අක්කු නැවත වතාවක් ගැබිණියක් බවට පත්ව සිටියාය. මේ දරු පිළිසිඳ ගැනීම් කෙදිනකවත් නැවතුණේ නැති අතර, ඇගේ සැමියාද කිසි දිනෙක පැමිණියේ නැත.
මේ සියල්ල අතරේ අක්කුගේ සැමියා නැවත පැමිණ ඇතැයි යන පුවත අපගේ කණ වැකුණේ අප උඩුමහලේ කාමරයක තිබූ අල්මාරියක් අසළ වාඩි වී කතන්දර පොත් කියවමින් සිටියදීය. ඔහු නගරයට ආ විගසම, අක්කුට ළමයෙක් හම්බෙන්න ඉන්නවා යැයි කවුරුන් හෝ ඔහුට කියා තිබිණි. බොහෝ සෙයින් අවුලට පත් වූ ඔහු ආ පයින්ම ආපසු යන්නට හැරී තිබුණේ යැයි දැනගන්නට ලැබිණි. අවසානයේ එය කටකතාවක් පමණක් බවට ඔහුට කියනු ලැබීමෙන් අනතුරුව ඔහු යළිත් පැමිණි බව තවදුරටත් දැනගන්නට ලැබිණි.
පිල මත වාඩිවූ ඔහු තම හිස් හඬින් දොඩ්ඩජ්ජයියා සමඟ කතාවට වැටී සිටියේ ය. මා මවාගෙන සිටි අන්දමට ඔහුට විශාල උදරයක් හෝ රැවුලක් තිබුණේ නැති අතර ඔහු කොට මිනිසෙක්ද නොවීය. ඔහු කැහැටුය. අත්පා සිහින් කෝටු කැබලි මෙන් වූ අතර දෑස් ගෙම්බෙකුගේ මෙන් විය. 'හාරවනා' ඇට ඉස්සේ නම් ඒවා ඒ විගසම පැළවෙතැයි සිතෙන තරමට ඔහුගේ ඉනාමුන්දුව හෙවත් ඉණවට බැඳි රෙදිකඩ ඝනකම් දූවිලි තට්ටුවකින් වැසී තිබිණි. ඔහු වකුටු ගැහී බිම වාඩි වී සිටියේ ය. අජ්ජයියා ඔහුගේ බියකරු මුහුණෙහි සිනා පොදකුදු නොමැතිව තම පුටුවේ වාඩි වී සිටි අතර, ඔහුගේ රැවුල් අග්ගිස්ස පවා අක්කුගේ සැමියාව බල්ලෙකු මෙන් සලකතැයි පෙනෙන්නට තිබිණි.
අක්කුගේ සැමියා නිශ්චලව වාඩි වී සිටියේ නැත. ඔහු සිටියේ කෙඳිරිගාමින් හා දියනයෙකු මෙන් ගැස්සෙමිනි. ඒ ඔහු ඇයව අත් හැර දැමූ නිසා නොව ඔහු අර පිළිකුල් සහගත ස්වාමි පසුපස ගිය බැවිනි. ඔහුගේ මතකය සේදී ගිහින් ද? ස්වාමි, කාශි හා හිමාලයා වෙත ගොස් ඇති අතර, තමාව නොවටිනා මිනිසෙකු ලෙස සැලකීමට නුවූමනාවෙන් ඔහු ද නිදැල්ලේ ගොස් ඇත. ස්වාමිගේ ඇසුරේ සිටින විට සිදුවූ උපයා ගැනීම් ද යහපත් වූ අතර ඔහු ද තනියෙන් යමක්කමක් උපයාගෙන ඇත. ඔහු මේ ආදී දේවල් අලසකාරී ලෙස දිගින් දිගටම කියමින් සිටියේ ය. අජ්ජයියා කිසිදු ශබ්දයක් කළේ නැති අතර ඔහු දෙසට බැල්මක්වත් හෙළුවේ නැත.
මේ අතරේ අක්කු කැඳවීමට නම් ඈ ඇත්ත වශයෙන්ම කොහේ හෝ සිටිය යුතු වූවත් ඇය නිවසේ කොහේවත් නොමැති බව තහවුරු විය.
'මේ පේන හරියෙ විතරක් ඒකිව හොයාපල්ලා' යි නියෝගයක් දෙනු ලැබිණි.
ඇයව සෙවීමට ගිය වාසු චික්කයියාට ඇය වැව් බැම්ම මත සිටිනු සොයාගත හැකි විය.
'උඹ වැවට එහෙම පනින්නෑ හරිද, අන්න උඹෙ මිනිහා ඇවිල්ලා, ඇවිත් බලාගනින්' වාසු චික්කයියා කීවේය.
'බස් ගාස්තුව දීලා උඹ ඌව ආපහු යවාපන්, ඌව දැකලා තමයි මාත් මෙතෙන්ට ආවෙ' ඇය ඔහු කලින් කී කළ දෑ මතක් කරමින් ඔහුව අපහසුතාවට පත් කර ඇති බවද දැනගන්නට ලැබිණි.
'මං හොඳ කරණං ටිකක් ගහලා තමයි ඒකිව ඇදගෙන ආවෙ. බලාගෙන! උඹ ඒකිට මොනම විදියක හරි කරදරයක් කරොත් ඒකි වැවට පනියි. මං නං ඕවට උත්තර බඳින්නෑ' ඔහු තම නළලේ වූ දහදිය පිස දමමින් කියා සිටියේ ය.
පිටුපස දොරින් ඇතුළු වූ අක්කු නිවස තුළට ඒම උදක්ම ප්‍රතික්ෂේප කර සිටියා ය. වී පොතු දමන විශාල පෙට්ටිය හා හිස් වංගෙඩිය අසළින් ඇය තමා පිටුපස වූ බිත්තියට පිටදී, තම දකුණු කකුලේ දණහිස නවා, යටිපතුළ බිත්තියට තබාගෙන නිවට ලෙස බලමින් ඈ නොසන්සුන් ලෙස තම දෑස් එහා මෙහා යැව්වා ය.
'ඔහේම එනවා' දොඩ්ඩජ්ජයියා මොහොතක් රැඳී, අක්කුගේ සැමියා වූ සංකප්පාට කී අතර ඔවුන් දෙදෙනාම ඇතුළට ආවෝය.
'අක්කු මැරිලා දවස් තුනයි රෑ තුනකුත් ගෙවුණා, අක්කුගෙ අන්තිම කටයුතු ටික කරන්නද ආවෙ කියලා මේ මෝඩයගෙන් අහපල්ලා' අක්කුගේ වචන කෝපයෙන් පිරී තිබිණි. 'බලාපන්, උඹ වගේ ඌරෙක්ට මුතු ඇටයක් විසි කරපු එකේ ප්‍රතිඵල බලාපන්'
ඇවිස්සුණු කෙසින් යුතු ඔහුගේ හිස පහතට නමාගෙන සංකප්පා වචනයකුදු නොකියා සිටගෙන සිටියේය.
'අන්තිමට උඹ ආවා, ඇයි උඹට ටවුමෙ තරුණ ගෑනු මදි උනාද?' දොඩ්ඩත්තේ ගේ ප්‍රකාශය සමඟ එකඟ වෙන්නාක් මෙන් දොඩ්ඩජ්ජයියා ඔහු දෙස පිළිකුලෙන් බැලුවේ ය.
සංකප්පා කට අරින්නටත් පෙර අක්කු කඩා පැන්නාය. 'උඹ හිතුවෙ මට හැමදේම නැති උනා කියලා. ඒත් එකෙක්වත් බය නැතුව කියයිද මං ටවුමෙ ඉන්න එක මිනිහෙක්ව හරි අල්ලන්නැතුව අතෑරලා දැම්මා කියලා? එහෙම කියන මිනිහෙක්ට එන්න කියපන්කො මගෙ ඉස්සරහට, කොහොමත් උඹ වගේ චපල මිනිහෙක්ට බන්දලා දුන්නම ඊට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්?'
සංකප්පා නපුංසකයෙකු මෙන් බලා සිටියේ ය.
'ගෑනියේ උඹේ කටවහගන්නවද?' අජ්ජයියා අක්කුට කෝපයෙන් කී අතර 'උඹෙ ඔළුව බිම ඇනිලා, කකුල් දෙක උඩ ගිහින් තියෙන්නේ, ඒකයි උඹ මේ විදියට කියවන්නෙ'
දොඩ්ඩත්තේ කීවාය.
'සංකප්පා, දැන් උන දේ උනා, උඹ කරගත්තු කරුම තමා උඹ ඔය විඳවන්නේ, ඔළුවක් නැති මෝඩ ගෑනියක් උනත් ඒකි අයිති උඹට, මෙහෙ දවස් දෙකක් ඉඳලා, ඒකිත් එක්කරගෙන පලයන්' දොඩ්ඩජ්ජයියා එසේ කියමින් නික්ම ගියේය.
'මොකක්? මේ මිනිහා එක්ක යන්න? මගෙ මිනිය උඩින් තමයි' අක්කු කියා සිටියා ය.
'ගෑනියේ, මොනවගේ මිනිහෙක් උනත් උඹට බෑ උඹේ මිනිහට මෙහෙම අවමන් කරන්න' දොඩ්ඩත්තේ කීවාය.
සංකප්පා අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. අක්කු ක්ෂණිකව හැරී බර අඩි තබමින් යන්නට ගියාය. කිසිවෙක් කිසිදු හඬක් නැගුවේ නැත.
*******************************************************************************
සංකප්පා රැයවල් දෙකක් රැඳී සිටියේ ය. අක්කු දිගටම කාමරයේ නිදා ගත්තාය. ඇය අඩියක්වත් නිවසින් පිටතට තැබුවේ නැත. කරදරයක් නැති 'බොදලසංකාරයෙක්' මෙන් කිසිදු දඟයක් නොමැතිව ඉස්තෝප්පුවේ මායිම අසළ දෙපා නවාගෙන සංකප්පා නිදන්නට පුරුදු වූයේ ය.
'ඊයේ රෑ මං පඩිපෙළ පාමුලට වෙලා ඉඳගෙන බලාගෙන හිටියා. මං කල්පනා කර කර හිටියෙ මේ හාදයා ඇත්තටම සන්නාසියෙක් වෙලාද නැද්ද කියලා, මේ මිනිහා රෑ දෙගොඩහරියෙ සද්දයක් නැතුව නැගිටලා කොණේ කාමරේ දිහාට ගියෙ නැද්ද? ඒ බලන් හිටිය ටිකට මට නින්ද ගිහින්' උදෑසනින්ම දොඩ්ඩත්තේ වාසු චික්කයියාට කොඳුරමින් සිටියාය.
ඒ අසළට වී දෙවියන්ට පූජා පැවැත්වීම පිණිස මල් මාලා ගොතමින් සිටින අපට ඇගේ වචන ඇසුණු විට 'දැන් කාලෙ තරුණ කෙල්ලො අපට තේරුං යන්නත් කලින් ලොකු වෙනවා, උං ඉස්සරහ දෙයක් කොඳුරන්නවත් බෑ. කණ තියාගෙන ඉන්නෙ' දොඩ්ඩත්තේ කෝපයෙන් හඬ නගා කිවාය.
අපේ කණ් නවා ගන්නට ඇත්නම් යැයි අපට සිතිණි. අක්කුට හොඳින් කිරි එරුණේදැයි අසන්නට කියා වාසුව පෙළඹෙව්වේ මේ දොඩ්ඩත්තේම නොවේද? අවට සිටින්නේ කවරෙක්දැයි බැලීමකින්වත් තොරව තමාට රිසි පරිදි එසේ කතා කිරීම ඇයව සතුටට පත් කළ අතර අප සිටින විට පමණක් ඇයට බොහෝ වැදගත් හා යහපත් ලෙස පෙනී සිටීමට උවමනා විය. ඇයම ගැහැනියක් නොවන්නේ ද? යකෙකු මෙන් පෙනී සිටිමින් ඉරිඟු පොරි මෙන් පුපුරා හැලෙමින් අක්කු ඇතුළු වන විට මේ සියළු අභ්‍යන්තර වාද විවාද තව තවත් දිගු වෙමින් පැවති මල් මාලාවේ ගැට සමඟ පෙළ ගැසෙමින් තිබිණි.
'ඒයි ඒයි දොඩ්ඩත්තේ, උඹ කොහෙද මැරුණෙ? වරෙන්, වරෙන්, වරෙන් ඉක්මණට, ලොකූ දෙයක් කතා කරගන්න තියේ, ලොකු දීසියට බුලතුයි පුවකුයි අරන් වරෙන්'
'මේ නැට්ටිච්චි හරියට හැසිරෙන්නෙ පණ අදිනවා වගේනෙ' අක්කුගේ සෙල්ලක්කාර ස්වරය ඇසූ දොඩ්ඩත්තේ එසේ කියමින් ඉදිරියට ආවේ තමාටම සිනාසෙමිනි. පවුලේ අනෙක් සියල්ලෝද, මෙහෙකරුවෝද ආදී අපි සියළු දෙනාම දොඩ්ඩත්තේ පසුපස ගියෙමු. අලියෙකු තම හොඬය පද්දන්නාක් මෙන් වාඩී වී අපරික්ෂාරී ලෙස තම දෙපා පද්දමින් හුන් අක්කු, දඩබ්බර හඬකින්,
'ඒයි, නපුරු ගෑනියේ, උඹට මේක ආරංචි උනා ද? මේ මිනිහා මහ රෑ මගේ කාමරේට ඇවිත් 'උඹ පාරෙ ඉන්න නරක ගෑනු වගේ නෙවෙයි' කියලා මාව අල්ලගත්‍තා. මං කිව්වා 'අවලමා, බැහැපන් එළියට, මගෙ ඇඟට අතක් තියන්නෙපා, මට ළමයෙක් ලැබෙන්න ඉන්නෙ' කියලා, 'කවුද උඹට ළමයෙක් දුන්නෙ' කියලා ඌ ඇහුවා. 'මේ අර ළඟ ගෙදරක ඉන්න තිමප්පායියා' කියලා මං ආයෙත් කිව්වා. එහෙම කියලත් ඌ මට යන්ඩ ඇරියෙ නෑ. 'හිටපන්කො උඹට සලකන්න' කියලා මං තොටිල්ලෙ දංවැල ඇදලා අරන් දුන්නා හොඳට, කොයි මේ වැඩකට නැති මිනිහා, උඹෙ පරණ අමුඩෙත් ඔතාගෙන දුවපන්, උඹට කැමති දෙයක් කියපන් දොඩ්ඩත්තේ, මේ මිනිහත් එක්ක බලද්දි තිමප්පායියා තව හොඳයි. ඒ මිනිහගෙ පපුව, තොල් දෙක..'
සමීප වෙමින් ඇති දොඩ්ඩජ්ජායියාගේ රිටේ හඬ ඇසෙන්නට විය. වාසු චික්කයියා අක්කුගේ කට තම අතකින් තද කොට වසා, අසළින් වූ, විශේෂ අවස්ථාවන් වලදී පමණක් ඉවීම සඳහා භාවිත කරනු ලැබූ කුස්සිය ට ඇදගෙන ගියේ ය. එහි වූ දර ගොඩෙන් දර කැබැල්ලක් ගත් ඔහු රෙද්දක් ගලේ ගසන්නාක් මෙන් ඉන් අක්කුගේ පිටට නොනවත්වාම පහර දෙන්නට විය.
'උඹ ගඟවල්, ඇළවල්, දොළවල්, ළිං ගැන කියව කියව රෝන්දෙ යන එකෙන් තිමප්පායියා විතරක් නෙවෙයි උගෙ අප්පත් උඹව අල්ල ගනියි, අදින් පස්සෙ උඹෙ ඔක්කොම රවුං ගැහිලි නවතිනවා' තඩි බෑම නොනවත්වා සිදු විය.
'කවුද දන්නෙ ඌ එයාව ඇත්තටම ඇල්ලුවාද නැද්ද කියලා, හිතන්නකො මෙයාගෙ පිස්සු පම්පෝරි විශ්වාස කරලා අපි ගියා කියලා, අන්තිමට අපට තමයි හොඳ කණේ පාරවල් කන්න වෙන්නෙ' පුවක් කැබැල්ලක් සපමින් අන්තන්නා සන්සුන් ලෙස කීවේ ය.
'හෙණ ගහපන්, ඔක්කොම උන්ගෙන් තිමප්පායියම! උඹ හිතනවද උට ශක්තියක් තියෙනවා කියලා ගෑනියෙක් බඩ කරවන්නයි ළමයෙක්ව හදාගන්නයි?' ඔහු ලීයක් ඉරන්නාක් මෙන් කොක්සන් දෙන්නට විය.
'සංකප්පව එක්ක වරෙල්ලා, ගෑනිටයි මිනිහටයි දෙන්නටම මෙහෙන් යන්ට දීපල්ලා, ඕන්නම් දෙන්නට බෙල්ලටයි කකුල් දෙකටයි ලණුවක් ගැටගහගෙන යන්න දීපල්ලා'
නිවසේ ටැඹවල් පවා කම්පනය වීමට පටන් ගෙන තිබිණි. එවිටම දොඩ්ඩජ්ජයියා ජවනිකාවට අවතීර්ණ වූයේ ය. ඔහු කෝපයෙන් වෙව්ලමින් සිටියේ ය. 'මේ මොන සාපයක් ද මේ?' ඔහු කෝපයෙන් ගිගිරුවේ ය. 'තලාපන් ඔය ගෑනිට, තව දෙතුන් සැරයක් තලාපන්, මැරිලා වැටුණොත් මැරෙන්න ඉඩ දීපල්ලා, කවුරුවත් අඬන්නෑ ඒකි හින්දා' ඔහු කීවේ ය. වාසු චික්කයියා දිගින් දිගටම පහර දීම කරගෙන ගියේය.
'අයියයියෝ, වාසු මාව මරණවෝ, අප්පායියා, මේ මිනිහා මට ගහනවා, මගෙ දරුවා මරණවා, අප්පායියම අහන්න, පෙරේදා මේ මිනිහා මොකටද තමන්නයියාගෙ ඉස්තෝප්පුවේ හිටියේ කියලා' ඔහු ඇයගේ මොර දෙන කටට ද පහර දීමට පටන් ගත්තේය. කිසිවකු ඔහුව නැවත්වූයේ නැත. කිසිවෙකු එපා කියන්නට හෝ ඇයව ඔහුගෙන් ඉවතට ඇද ගන්නට මැදිහත් වූයේ නැත. සෑම මිනිත්තුවක් පාසාම රැස්ව සිටි පිරිස තවත් වැඩි වන්නට විය. ඒ ජවනිකාව දිගින් දිගටම පවතීවා යැයි ප්‍රාර්ථනා කරමින් ඔවුන් එතැන සිටගෙන සිටින්නාක් මෙන් පෙනිණි. පහර දීමට හා කෑගැසීමටම ගැළපෙන ශක්තියක් එහි තිබිණි.
භානු චික්කී ඉණට අත් දෙක තබාගෙන එදෙස බලමින් සිටියා ය. 'මේක පිස්සුවක් නැත්තං වෙන මොකක්ද? මෙයාට පුළුවන් ඕනි කෙනෙක් රවට්ටන්න' ඇගේ ස්වරය සොවින් පිරී තිබිණි.
'මට මෙහෙම ගැහුවා නං මං මැරිලා ඉඳියි. මේ හින්දා නෙවෙයි ද කියන්නෙ පිස්සු හැදිච්ච මිනිස්සු හුඟක් ශක්තිවන්තයි කියලා' තවත් ගැහැනියක් කීවාය. ඔහුට හැකි තරමින් ඇයගේ කටට පහර දුන්නද අක්කුගේ මොරදීම නැවතුණේ නැත. එසේම හිංසා කිරීමද නොනැවතුණු අතර ඇය මියගියේ ද නැත.
'ඔක්කොමලා පලයව් යන්න' වෙහෙස නිසාම අක්කුව අත් හැර දැමූ වාසු නියෝග කළේ ය. වහා පිටතට පැමිණි ඔහු ඉක්මණින් එහි දොර වසා අගුළු දැම්මේ ය. අක්කු වේගයෙන් දොර වෙත පැමිණ එයට පහර දෙමින් ඇයගේ නිදහස ඉල්ලා සිටීම ට ද අපොහොසත් වූවා ය. කවරෙකුවත් නැති අවස්ථාවක දොර ඇරීමට අපේ වූ උනන්දුව ද නැති වී ගියේ ය. අක්කු ජනේලය තුළින් ඇගේ ටුවාලය වනමින්,
'අර තමන්නයියගෙ ගෑනි උඹ එනකං බලන් ඉන්නවා, ගිහින් බලපන්, ඉක්මණට දුවලා පලයන්, ලැජ්ජා නැති මිනිහො, වරෙන් ඇවිත් මට ගහපන්, අපි බලාගමු...' යැයි කෑගසමින් එතුළටම වී සිටියාය.
*********************************************************************************
වෛදේහී ලෙස ප්‍රසිද්ධියට පත් ජානකී ශ්‍රීනිවාස මූර්තී, 1945 ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ උපන් කණ්ණඩ ලේඛිකාවක් හා කිවිඳියකි. ඇගේ ලියමන් වලින් බොහෝ විට කාන්තා චරිතයේ දුක්ඛිත, අන්තරාදායක තත්ත්වය නිරූපණය කෙරිණි. අක්කු කෙටිකතාවද ඇගේ කෙටිකතා එකතුවකින් එකකි. එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ C. විමලා රාඕ විසිනි. රාඕ, ඉන්දියානු ලේඛිකාවන් පිළිබඳ විචාරිකාවක් වන අතර ප්‍රකට පරිවර්තිකාවකි.
සිංහල පරිවර්තනය: හංසි විජේකෝන්



Comments
Post a Comment