දිය ළදැරිය.
නිහඬතාවේ දෝංකාරයෙන් ගිගුම් දෙන, මන්ද හිරු රැසින් යාන්තමින් ප්රභාවත් වන අන්ධකාර නිසල වනපෙතක් මධ්‍යයේ මෘදු සිනා හඬක් නංවමින් ගලා බසින දිය ඇල්ලක සුන්දරත්වය මේ යැයි කියන්නට වචන ලොව කිසිදු භාෂාවක ඇතැයි මට නොසිතේ. දෙසවන පිනවන ඒ මෘදු, භාවනාමය හඬ වාතලයට මුහු වන්නේ ඉන් වාතලය ද සිහින් ලෙස කම්පනය කරවමිනි. උස් ගල් තලාවකින් පහතට කඩා වැටෙමින් නගන ගුප්ත නාදයත්, නිසල දිය දහරක් ලෙස තැනි බිමක ඇදෙමින් නගන සිහින් මිමිණුම් නාදයත්, ගල් දෙබුක්කාවන් අතරින් කුඩා උසක සිට ඊළඟ බිම් මට්ටමට නොලස්ව ඇදහැළෙන විට, කුඩා දරුවකු තුටින් නංවන සුරතල් සිනාවක් මෙන් නගන නාදයත් කැළතී මැවෙන සංගීතමය රාවය උදෑසනක ඇසෙන සිහින් පිරිත් සරයක් මෙන් සිතම නිවාලන්නට සමත් ය. ඇතැම් විටෙක ඒ මියුරු සංගීතය අනුකරණය කිරීමට අකුරු තිබුණේ නම් යැයි නොහැඟෙනවා නොවේ.
සුදෝ සුදු වළා කැටිති මෙන් පෙණ පිඬු නංවාගෙන ගුප්ත හඬක් නඟමින් ඇද හැලෙන සුපිරිසිදු දිය දහරින් නර්තනයේ යෙදෙමින් හා දේදුනු පැහැති විචිත්‍ර ආලෝක දහරා පරාවර්තනය කරමින් දසත ඉසෙන කුඩා තුෂර බිඳු මිහිදුම් සළු රටාවක් මවයි. ඒ කුඩා බිඳිති විසිරී පැතිරී ගිය වාතලය ඒවායේ සිහිලසින් පිරී වැගිරී යන්නේ සියොළඟ හිරිගඩු නංවමිනි. සිරුර තුළ දිවෙන උණුසුම් රුධිර ධාරාව පවා මඳකට මිදී යන සෙයක් දනවමින් ජලකඳින් නැගෙන සිහිතල, ඇටමිදුළු තෙක් කිඳා බසින්නාක් වැනිය. මිහිලිය වරක් සිපගත් දිය දහරාව තැනි බිම ඔස්සේ හෙමින් සීරුවේ ඇදී යන්නේ සුන්දර කැඩපතක් මවාලමිනි. එසේ ගලා ගොස් කුඩා ඇලි නිර්මාණය කරමින් ගල් තලා අතරින් සලිල කඳ ඇද වැටෙන්නේ කුඩා සුළි හා පෙණ බුබුළු පොකුරු නිර්මාණය කරමිනි. දැඩි කළු ගල් තලා දිය සීරාවෙන් තෙත් වී ඇතැම් තැනෙක කොළ තැඹිලි පැහැ ගැන් වී ඇත. බොහෝ කාලයක් තිස්සේ ජල දහරාවක් සමඟ ගැටීම නිසා ඒවායේ මතුපිට ගෙවී සුමට වී ඇත. වාතලය කෙතරම් සිහිල් වීදැයි කිවහොත් ඒ සිහිලස ඒ පාෂාණමය පෘෂ්ඨ වලින් විහිදෙන්නාක් මෙනි.
බොහෝ දුර ඇවිදීමෙන් වෙහෙසට පත් දෙපා ඒ නොගැඹුරු දිය තටාකයක් තුළ ගිලෙන්නට හැරි විට ගතට වැදෙන සිහින් විදුලි සරයක් හැඟීමක් දනවයි. කෘත්‍රිම ලෝකයක, යාන්ත්‍රිකයින් මෙන් ගෙවෙන කාර්යබහුල ජීවන රටාවෙන් මඳකට මිදී එවන් සුන්දර හැඟීමක් විඳ ගැනීමට හැකි වීමම දැනෙන්නේ මහත් වූ ආශිර්වාදයක් ලෙස ය. ගත පුරා නැවතුමක් නොමැතිව දිවෙන සුවදායී හැඟීමක් ඉතිරි කරවමින් දෙපා වල වෙලෙමින් ගලා යන පැහැදිලි දිය දහරාව තවදුරටත් දඟකාර සුළි මවමින්, ගස් වලින් ඇද හැළුණු රතු දුඹුරු පැහැති පත්රයන් ද, දුඹුරු ගැසී කළුව ගිය සිහින් අතු රිකිලිද, වියළුණු මල් ද තම තුරුළට ගෙන පා කරවමින්, දැවැන්ත වනස්පතීන්ගේ යෝධ මුල් වලට කොඳුරමින් හිනැහෙමින් එක් තැනෙක නොරැඳී ගලා යන්නේ, එහි පත්ලේ තැන්පත්ව ඇති රන් පැහැ වැල්ල හා විසිතුරු හැඩැති කුඩා ගල් කැබලි ඇතැම් තැන් වල දී පෙනෙන්නට සලස්වමිනි. නොනැවතී මැවෙන-බිඳෙන පෙණ පොකුරු සොඳුරු ඒ දිය ඇලි ළඳගේ සතුටු සිනාවන් වැන්න.
දෑස් වසාගෙන ඇදගන්නා ගැඹුරු හුස්මක, දිය දහරාවේ ඒ සිසිලස, නැවුම් සුවඳ පමණක් නොවේ සොබා දහම් දිනිතියගේ ජීවමය ගුණය නොඅඩුවම වෙලී ඇති බව සිරුරාභ්යන්තරයටම දැනෙයි. ඒ හැඟුම විඳිමින් ගෙවෙන කුඩා මොහොත පවා දිව ඔසුවක් මෙනි. ස්වාභාව ධර්මයේ බොහෝ රහස් සඟවාගෙන ලජ්ජාශීලී යෞවනියක මෙන් මන්දහාස නඟමින් කෙළිදෙලෙන් යුතුව නොනැවතී ගලා බසින සොබාමව්ගේ මේ සොඳුරු ළදැරියන් මිනිස් පහසකට නතු වන තෙක්ම මෙලෙස සුන්දරව ඇද හැළෙමින් ඒ ජීවමය ගුණයෙන්ද, ශෝභනත්වයෙන් ද පරිසරයම සරසනු ඇත.
.
.
#natureperfection
#naturesbeauties
#therapies
#freshestmoments
.
.
#silhouttesbyHansi


Most precious eassy. Now I'm addicted to your every essays and also poetries. You're so talented. Keep it up. I wish you all the best for your bright future with more love.....
ReplyDeleteThank you soo much!!! Your words mean a world to me!!! ❤❤
Delete