ආදරය එලෙස විය යුතු යැයි හඟිමි.

 


දඟකාර රළ රැළි ළා තඹ පැහැ වෙරළේ හැපෙන්නට හැර සුදු පැහැ පෙණ කැටි මවමින් සිනා නඟන අනන්තය තෙක් ඉතිරී පැතිරී දිවෙන නිල් කැඩපතක් වැනි, ඉඳුවර කෙළවර දී සිහින් රේඛාවක් බවට හැරවෙන, ජලකඳ වින්දනය කරමින් කුඩා දරුවන් අමන්දානන්දයට පත් වන්නේ මේ සයුරු තෙර ඔවුන්ගේ ලෝකයේ සොඳුරුතම වස්තුව සේ දකිමිනි. ඒ කුඩාවුන්ම දිනෙක වියපත්ව යළිත් ඒ සයුරු තෙර වෙත පැමිණ, මහා සමුදුර පෙනෙන තරමටම සොඳුරු නැති, ක්ෂිතිජයෙනුත් ඔබ්බට විහිදෙන, ගිනි කඳු, භයංකර ජීවීන් පිරි, අවැසි නම් මිනිස් වර්ගයාම ගිල දැමිය හැකි තරමේ වුව බලයක් හිමි සුවිශේෂි වස්තුවක් බව දැන දැනම බොහෝ ආශාවෙන් යුතුව සිඳු මුව සුන්දරත්වය විඳ ගනිති. පැටි වියේදී දුටුවා හා සමානම උද්දාමයකින් එය නරඹමින් රළ රැළි තම වලට තම දෙපා වෙළා ගන්නට හැර බොහෝ ප්රීතියට පත් වෙති.

ආදරය ද එලෙස විය යුතු යැයි මම හඟිමි.
කුඩා දරුවකුව සිටි අවධියේ දී මෙන්ම, මහා සමුදුර කෙරෙහි මනා අවබෝධයෙන් යුතුව සිටින වියපත් සමයේදී ද සයුරු තෙර කෙරෙහි පවතින විචිත්ර, උද්යෝගිමත් හැඟීම දැනෙනුයේ කෙසේ ද ආදරය ද සැම විටම එක ලෙස නොවෙනස්ව දැනිය යුතුයැයි හඟිමි.
විචිත්ර වර්ණ හතක සුසංයෝගයක් වූ දේදුන්න කුඩාවුන් දකින්නේ කවුරුන් හෝ මායාකරුවකුගේ විස්මිත මැවීමක් ලෙසිනි. දෙයියන්ගෙ දුන්න දේදුන්න යැයි කියමින් වැස්සත් අව්වත් එක ලෙස පවතින අපූරු සුයාමයක දේදුන්න අහස පුරා අලංකාර ලෙස ඇඳී තිබෙනයුරු බලා සිටීම කුඩා දරුවෝ මහත් සේ ප්රිය කරති. අව්වයි වැස්සයි නරියගෙ මගුලයි දේදුන්නක් පායා කියමින් දේදුන්න දෙස බලා සිටින්නේ නරියකුගේ මගුලක් ගැන ද සිතේ මවාගෙන ය. ඇතැම් විට ඒ දේදුන්න අවසාන වන්නේ කෙසේදැයි බලන්නට කුතුහලයක් රමෝනා (බීසස් හා රමෝනා ළමා නවකතාවේ) තුළ ඇතිවූවාක් මෙන් කුතුහලයක් අන් කුඩාවුන්ගේ සිත් තුළ ද හටගත හැකි ය. එහෙත් ඒ කුඩාවුන්ම, දිනෙක වයසින් මුහුකුරා ගොස් නිසි ඉගෙනුම ලබා දේදුන්න යනු දෘශ්ය මායාවක් බවත්, හුදෙක් භෞතික විද්යාත්මක සංසිද්ධියක් බවත් දැනගත් පසුවවත් ඔවුන්ට දේදුන්න සම්බන්ධයෙන් කුඩා කල ඇති වූ ප්රබෝධජනක හැඟීම නැති වන්නේ නැත. එය එවිටත් දෙයියන්ගේ දුන්නම ය.
ආදරය ද එලෙස විය යුතු යැයි මම හඟිමි.
කුඩාවෙකුව සිටි අවධියේදී මහාර්ඝ විස්මයක් ලෙස දේදුන්න වෙත ඇති කරගත් ඒ විචිත්ර, උද්යෝගිමත් හැඟීම, දේදුන්න යනු එසේ දැකිය යුතු විස්මයක් නොව හුදෙක් විද්යාත්මක සංසිද්ධියක් බව දැනගත් පසුත් දේදුන්න පිළිබඳ දැනෙනුයේ යම්සේ ද ආදරය ද එසේ දැනිය යුතුයැයි හඟිමි.
අප ආදරය කරනු ලබන මිනිසෙකු හෝ සතෙකු හෝ වුවද, ඔහු හෝ ඇය කෙරෙහි අප බැඳිය සිටිය යුතු වන්නේ ඔවුන් මෙලෙස වෙතැයි අප මවාගෙන සිටි රූපය පවතින තාක් පමණක් නොව ඔවුන්ගේ ඇතුළාන්තය ද සැබෑ ස්වරූපය ද දැනගත් පසුව යැයි සිතමි. එසේ 'සැබෑම' ඔවුන්ව දැකගත් පසුවද අපගේ හැඟීම් නොවෙනස්ව පවතියි නම්, අප ඔවුන් වෙත බැඳී සිටියි නම් එය සැබෑ ආදරය යැයි සිතමි.
**මෙහි සැබෑ ආදරය යනු විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇති වන ආදරය පමණක් නොව සියළු බැඳීම් තුළ පවත්නා ආදරයයි. බැඳීම අනුව යුතුකම්, වගකීම්, ඇසුරු කරන ආකාරයන් වෙනස් වුවද ඒ සියල්ල තුළ පවතින ආදරය එකක් බව සිතමි.

Comments