ඉඳුසැව් අද්දර.
Calling Randika...
සෙල් ෆෝනයේ ආලෝකමත් තිරය වෙත සටහන්ව තිබිණි. ඈ ඇමතුම සම්බන්ධ කරගත්තා ය.
'රන්දික, හෙලෝ'
'ජිනාලී, කොහෙද බං ඉන්නෙ?'
'කොහෙද ඉතිං මං ඊයේ එනවා කිව්ව හොටෙල් එකේ තමා, දන්නෑ වගේ අහන්නේ' ඈ කීවේ නොරිස්සුමෙනි.
'හරි යකෝ, වචනයක් කියන්න බෑ මළ පනිනවා' රන්දිකගේ සිනා හඬින් ඇගේ මුවේත් සියුම් සිනාවක් ඇඳිණි.
'හතත් පහු වෙලා හින්දා උඹෙන් කෝල් එකක් නැති හින්දා ගත්තෙ'
'කෝ දැන් ගෝලයා ඔයාගෙ, මං බලාගෙන ඉන්නෙ හයේ විතර ඉඳලා, තාම කෝල් එකක් ආවෙ නෑනෙ'
'හරි නං මේ වෙලාව වෙද්දි ඇවිත් ඉන්න ඕනෙ, ඇයි දන්නෑ, කෙවින් ආන්සර් කරේ නෑ ෆෝන් එකට, මං දැන් පැයක විතර ඉඳලා කෝල් කරන්නෙ'
'ගෝලයා ගුරාට ලණුවක් දුන්නද දන්නෑ' කියමින් ජිනාලි සිනාසුණා ය.
'පිස්සු ද බං, කෙවින් එහෙම ළමයෙක් නෙවෙයි, ඇරත්...'
'ළමයෙක්? කොයි වෙලාවෙද ඔය කෙවින් ළමයෙක් උනේ, මදැයි ඉතිං මං හැන්ඩ්සම් ඉලන්දාරියෙක්ව මීට් වෙන්න බලන් හිටියා'
'හරි හරි, ඒ කොල්ලා, කෙවින් කොල්ලා, හරි ද?'
'මං හිතන්නෙ ඔයාටත් දැන් ඔයා වයසයි කියලා තේරිලා නේද තියෙන්නේ, නැත්තං ඉතිං ඔයාගෙ වයසෙ වගේ කොල්ලෙක්ට ළමයා කියයි ඇයි' කියමින් ජිනාලි මහා හයියෙන් සිනාසෙන්නට වූවා ය.
'මගෙන් අහගන්න එපා ඉතිං වයසක අම්මණ්ඩි' රන්දිකද කීවේ සිනාසෙමිනි.
'හරි හරි දැන් ඉතිං එයා එන්නැති වෙයි ද අද?'
'නෑ, නෑ කෙවින්ගෙ තාත්තත් කිව්වනෙ එනවා කියලා, ඒ හින්දා අනිවාර්යෙන්ම එන්න ඕනි'
'කොල්ලා ෆැමිලි එකේ කට්ටියත් එක්ක ද එන්නෙ? හොඳයි හොඳයි ෆැමිලි එකම අඳුරන් ඉන්න එක හොඳයිනෙ නේහ්'
'කියන්නෑ මං ඉතිං, ඔව් ඒ ෆැමිලි එකම එනවා මං හිතන්නෙ, මගෙ කාඩ් කුඩු කරන්නෙපා හරි ද, ඩීසන්ට් පිට හිටපන්' රන්දික විහිළු කරනු ඈ ඉවසුවේ මැඩගත් සිනාවකින් යුක්තව ය.
'මං කෙවින්ට කියනවා මිස්ට රන්දික රොඩ්‍රිගෝට කුඩු වෙන්න කාඩ් එකක් නෑ කියලා' ජිනාලි නැවත සිනාසුණා ය.
'හරි හරි ඕනි එකක්, මං කියලා තියෙන්නේ උඹ මං බඳින්න ඉන්න එක්කෙනා කියලා හරි ද?' රන්දික සන්සුන් හඬින් කියනු ජිනාලිට ඇසිණි.
'මොකක්?' කිවූ ඇය මහා හඬින් සිනාසෙන්නට වූවා ය. 'අයියෝ, මට අර ලස්සන කෙවින් කොල්ලා එක්ක සෙට් වෙන්න තිබුණු චාන්ස් එකත් නැති කරා'
'තව දැක්කෙත් නැතුව ලස්සනයි කියලත් කියනවා, ඔහොම ඉන්නවකො තව ටිකක්'
'ඉන්නවා තමා මොකෝ'
'හරි හරි ඉන්න බැරි නං ඕනි එකක්, කෙවින්ට කතා කරලා මට කෝල් කරන්න, මං තිබ්බා එහෙනම්'
ඇය ඇමතුම විසන්ධි කොට සෙල් ෆෝනය යළිත් සාක්කුවේ රුවා ගත්තා ය. ඇය ට දැනුණේ සියුම් සතුටකි. තම හොඳම මිතුරාගේ හොඳම ගෝලයෙක් මුණ ගැසීමට ලැබීම ඇගේ සිතට සියුම් සතුටක් දැනවීය. රන්දික රොද්‍රිගෝ කෙතරම් හොඳ ගුරුවරයෙක්දැයි ඇය දැන සිටියා ය. ඔහු ප්‍රසිද්ධ සරසවියක කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළ අතර කෙවින්ව මුණගැසී තිබුණේ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූ අවස්ථාවකදී ය. කෙවින් දැන් දිවයිනට පැමිණ ඇති අතර ඇය තම කෙටි නිවාඩුව ගත කිරීම සඳහා තෝරාගත් වෙරළබඩ නිවාඩු නිකේතනයටම පැමිණෙන්නට යයි. රන්දික තම ගෝලයාව තමාට මුණගස්වන්නේ ඇයිදැයි ඇය ඔහුගෙන් අසා තිබිණි. ඇරත් දැන් තමා විවාහ වන්නට සිටින යුවතිය යැයි බොරුත් ඔහුට කියා තිබේ.
'මං ඒක කියන්නෑ, මං කොච්චර හොඳ ගුරෙක් ද කියලා උඹට තේරෙයි කෙවින්ව හම්බ උනාම'
'ඉතිං මං දන්නවනෙ, ඒකෙ මොකක්ද තියෙන අලුත් දේ?' ඇය නොරිස්සුමෙන් ඇසූ අයුරු ඇයට මතක ය.
'කෙවින්ගෙ තත්ත්වෙ චුට්ටක් වෙනස්' රන්දික කීවේ බරපතළ ලෙසිනි. 'කෙවින්ව හම්බ උනාම ඔයාට ඒක තේරෙයි ජිනූ, මේක සර්ප්‍රයිස් එකක් කියලා හිතාගන්නකො' ඇයට තවත් කිසිවක් අසන්නට ඉඩ නොතබාම රන්දික කීවේය. ඉන්පසු දෙතුන් වරක් ඇය රන්දිකගෙන් ඒ ගැන කියන්නැයි අසමින් ඇවිටිලි කළ ද ඔහු කීවේ එය ඇයට කෙවින්ව මුණ ගැසුණු විට තේරුම් යනු ඇති බව ය. රන්දික කෙවින්ගේ ඡායාරූපයක්වත් ඇයට පෙන්වා තිබුණේ නැත. ඇයට කිසිවක් සිතාගත නොහැකි වූ අතර ඒ නිසාම ඇයට කෙවින්ව මුණගැසීමට තිබුණේ පුදුමාකාර නොඉවසිල්ලකි.
'මිස් ජිනාලි' හෝටල් සේවකයාගේ කටහඬින් ඇගේ සිතිවිලි දැහැන බිඳිණි.
'ආහ්... ඔව්'
'මිස් කිව්ව විසිටර්ස්ලා ඇවිත් ඉන්නවා, පූල් එක ළඟ ටේබල්ස් දාලා තියෙන ඒරියා එකට යන්න මිස්'
'ආහ් හරි, තැන්ක්‍යූ, මං එන්නම්' මුහුණට වැටෙන කෙස් රොදවල් ඉවත් කරගත් ඈ, හෝටල් සේවකයාට යන්නට හැරියා ය. හෝටලය තුළට පිවිසි ඈ අඩක් පානය කළ සිසිල් බීම වීදුරුව බීම කවුන්ටරය මත තබා තටාකය දෙසට ඇවිද ගියාය. තටාකය නිල් රැළි නංවමින් තිබිණි. ඒ පෙදෙසම මෘදු කහ පැහැති ආලෝකයෙනුත් දසත පැතිරුණු සංගීත නාදයෙනුත් පිරී තිබිණි. සෙනඟ පිරී සිටි අතර ඇය කෙවින්ව සොයමින් සෙනඟ අතර නෙත් යවමින් කවාකාර මේස අතරින් ඇවිද යන්නට වූවා ය.
'මිස් ජිනාලි' පිරිමියෙකුගේ ගැඹුරු කටහඬින් අමතනු ලැබූ ඇය පිටුපස හැරී බැලුවා ය. ඒ පුද්ගලයා තට්ට හිසැති උසට සරිලන මහතකින් යුත් තලඑළළු පැහැති මිනිසකු විය. වැදගත් පෙනුමැති ඔහුගේ මුහුණ තමාට මෙතරම් දැක පුරුදු ඇයිදැයි ඇයට වැටහුණේ නැත. සැහැල්ලු ටී ෂර්ටයකින් හා කොට කලිසමකින් සැරසී සිටි ඔහුගේ මුහුණේ විශාල උඩු රැවුලක් හා නළලේ විශාල කැළලක් විය. ඝනකම් රන් මාලයක් ගෙලලාගෙන සිටි ඔහු විනීත ලෙස ජිනාලි දෙස බලා සිටියා ය. ඔහුගේ ඍජු නාසයත්, තද කළු පැහැති දෑසුත් තමා කොහේ හෝ දැක ඇති සෙයක් ජිනාලිට හැඟිණි.
'මේ මිස් ජිනාලි දිසානායක නේද?' ඔහු අත දිගු කළා ය.
'ඔව්, මම තමයි ජිනාලි දිසානායක, එතකොට මේ කෙවින්ගේ...' ඇය බොහෝ සුහද විලාසයකින් අතට අත දෙමින් ඇසුවා ය.
'ඔව්, මම කෙවින්ගේ තාත්තා, බ්‍රයන්, බ්‍රයන් පෙරේරා' ඔහු ආචාරශීලී ලෙස සිනාසුණ අතර ජිනාලි ද මඳ සිනාවක් පෑවා ය.
'අඳුර ගන්න ලැබීම සතුටක් මිස්ට පෙරේරා, කෝ ඉතිං ඔයාගෙ පුතා?' ඇය ඇසුවේ තම අත මුදවාගනිමිනි.
'එන්න මිස් දිසානායක, අතන අර ටේබල් එකේ කෙවින් ඉන්නවා එයාගේ අම්මත් එක්ක' සයුරු දෙසට වන්නට තබා තිබූ මේසයක් වෙත අත යොමු කොට පෙරේරා කී අතර එදෙසට හැරුණු ඇයට දකින්නට ලැබුණේ බෙහෙවින් රතු පැහැ ඇඳුමකින් සැරසුණු, ළාබාල හා බටහිර පෙනුමැති සුන්දර කාන්තාවක් හා වයස අටක් දහයක් පමණ විය හැකි, මව මෙන්ම බටහිර පෙනුමක් ඇති කුඩා පිරිමි දරුවෙකි. ඈ මහත් සේ පුදුමයට පත් වූවා ය. එසේ නම් රන්දිකට වැරදී නැත. කෙවින් කුඩා දරුවෙකි. එවන් දරුවකු රන්දිකගේ ගෝලයෙක් වන්නේ කෙසේ ද? ඇයට වැටහුණේ නැත. ඔවුන් ඇයට අත වැනූ අතර ඇය ද පුදුමය මැඩගෙන සිනාසෙමින් ඔවුන්ට අත වැනුවා ය.
'අපි යන් ද මිස් දිසානායක?' පෙරේරා ඇසුවේ ඉතා ආචාරශීලී ලෙස ය. .
'ඔව් යන්' කියමින් ඈ පෙරේරා පිටුපසින් කෙවින් හා ඔහුගේ මව රැඳී සිටි මේසය වෙත ගියා ය.
'හලෝ මිස් ජිනාලි' කෙවින් බොහෝ ලෙන්ගතු ලෙස ඇයව වැළඳගත්තේ ඇයව බොහෝ කලක් දැන සිටියාක් මෙනි. ඔහුගේ සිංහල කතාවේ නුහුරු බවක් තිබිණි.
'හලෝ කෙවින්, කොහොමද ඔයාට' කියමින් ඇය ද ඔහුව වැළඳගත්තා ය.
'මිස් දිසානායක, අඳුර ගන්න ලැබුණු එක සතුටක්, මම ටාර්ජා' කෙවින්ගේ මව අත දිගු කරමින් කියා සිටියා ය. ජිනාලි ඇයට අතට අත දුන් අතර පිරිස කවාකාර මේසය වටා අසුන් ගත්හ.
'බලන්නකො ටාර්ජා, කෙවින් මිස් දිසානායකව හොඳට අඳුරනවා වගේ නේ' යැයි බ්‍රයන් කීවේය.
'ඒක තමයි මාත් හිතුවෙ' කිංකිණි හඬක් වැනි කෝමල හඬකින් කෙවින්ගේ මව සිනාසෙමින් කියා සිටියා ය.
ආචාර දැක්වීම් වලින් අනතුරුව ඔවුන් සමඟම රාත්‍රී ආහාරය ලබා ගැනීමට ජිනාලි ආරාධනා ලැබුවා ය. කෙවින් බොහෝ කුළුපගව ඇය සමඟ කතා බහ කළ අතර පෙරේරා යුවළ ද ඇය සමඟ බොහෝ හිතවත් විය. එහෙත් ඇයට දැනුණේ නුහුරකි. පෙරේරාව ඇය බොහෝ කලක් තිස්සේම දන්නා සෙයක් ඇයට හැඟිණි. කෙවින්ට ද තිබුණේ තම පියාගේ මෙන්ම ඍජු නාසයක් හා තද කළු පැහැති දෑස් ය. ඒවා තමා දැක ඇත්තේ කොහේදී ද? ඇය කල්පනා කළා ය. එහෙත් ඇයට සිහිවුණ කිසිවක් නැත. පෙරේරා යුවළට අනුව කෙවින් ඉපදී ඇත්තේ ලංකාවේදී නොව විදේශයක දී ය. ටාර්ජා ද හැදී වැඩී ඇත්තේ ඒ රටේ වන අතර පසු කලෙක එහි රැකියාවකට ගිය පෙරේරාට ඇයව හමු වී ඇත්තේ එහිදී ය. කෙවින්ට දැන් වයස දහයකි. ඔවුන්ගේ අපේක්ෂාව පසුකලෙක කෙවින් සමඟම ලංකාවට පැමිණීමයි.
'ඉතිං කොහොමද ඔයාලට රන්දිකව මීට් උනේ?' ජිනාලි ඇසුවා ය.
'මිස්ට රොද්‍රිගෝ තමා කෙවින්ගෙ සිංහල ගුරුවරයා'
'ඒ කිව්වෙ?' ජිනාලි ඇසුවේ විස්මයෙනි. තාක්ෂණික විෂයන් සම්බන්ධ කථිකාචාර්යවරයකු වන රන්දික සිංහල ඉගැන්වීමට පටන් ගත්තේ කවදා ද? ඇය මහත් සේ පුදුමයට පත් වූ අතර එය පෙරේරා පවුලට ද වැටහුණු බව සැකයක් නොවී ය.
'ඇයි මිස් ජිනාලි, මොකක් හරි ප්‍රශ්නයක් ද?'
'ආහ්, නෑ නෑ නෑ මිස්ට පෙරේරා, හරි හරි, රන්දික මට මේ ගැන කියන්න ඇති, මට මතකයක් නෑ'
එහෙත් ඈ සිත යටින් මහත් සේ පුදුමයට පත් වෙමින් සිටියා ය. කෙවින් බොහෝ දොඩමළු වෙමින් සිටි අතර රාත්‍රී ආහාර ගන්නා වෙලාව ද ළඟා වෙමින් තිබිණි.
'බ්‍රයන්, නන්දනී තාම නෑ නේද?' ටාර්ජා ඇසුවේ තම සෙල් ෆෝනය දෙසට දෙනෙත් යොමාගෙන ය.
'ඒක තමා, අපි තව ටික වෙලාවක් බලලා ඩිනර් ගන්න යමු, කෙවින්ටයි මිස් ජිනාලිටයි හොඳටම බඩගිනිත් ඇති' පෙරේරා කීවේ සතුටු සිනා නගමින් කතා බහේ යෙදෙන යුවතිය හා තම කුඩා පුතු දෙස බලමිනි.
'අනේ නෑ මිස්ට පෙරේරා, මට නම් තවම බඩගින්නක් නෑ, කෙවින්ට නම් බඩගිනි ඇති'
'නෑ බඩගිනි මට' කෙවින් කීවේ නුහුරු ලෙස වචන ගළපමිනි. බටහිර රටක ඉපදී හැදී වැඩුණු කෙවින්ගේ සිංහල හැසිරවීම තවමත් පැවතුණේ පහළ මට්ටමක ය. ඔවුන් සිංහල භාවිතා කරන්නේ බොහෝ කලාතුරකින් බව කෙවින් ඇයට කීවේ ය. ජිනාලි පෙරේරා යුවළට වඩා කතා කළේ කෙවින් සමඟ ය. ඇය ඔහුගෙන් බොහෝ තොරතුරු ඇසුවා ය. කුඩා දරුවා රන්දිකට බොහෝ ආදරය කළ වගක් පෙනිණි. ඔහු ඉක්මණින්ම ජිනාලි හා මිතුරු වූ අතර තොරතෝංචියක් නැති ඔහුගේ හුරතල් කතව ජිනාලිගේ සිත ආදරයෙන් පුරවාලීය. තමාටත් සහෝදරයෙක් හෝ සහෝදරියක් සිටියේ නම් ජිනාලිට නැවත වතාවක් හැඟෙමින් තිබිණ. කෙතරම් සිනාසෙමින් සිටිය ද ජිනාලිගේ යටි සිත තිබුණේ බෙහෙවින් කරදරයට පත්ව ය. රන්දික ඇයට බොරු කියා තිබීමත්, පෙරේරා මහතාගෙන් හා කෙවින්ගෙන් ඇයට දැනුණු හුරු පුරුදු ගතියත්, තම ජීවිතයේ වඩාත්ම අප්‍රිය කළ නමක් මෙවන් අවස්ථාවකදී අසන්නට ලැබීමත් ජිනාලිගේ සිත බෙහෙවින් කළඹා තිබිණි. කුමක් හෝ සිදුවෙමින් පවතින බව ඇයට හැඟුණ අතර 'බ්‍රයන්' යැයි හඬ නගමින් තවත් කාන්තාවක් එතැනට පැමිණි අතර ඇය ඒ කාන්තාව දෙස බැලුවා ය. ඇයගේ හුස්ම පපු කුහරය තුළ නතර වූවාක් මෙන් ඇයට දැනිණි. ඒ කාන්තාව ද ජිනාලි දෙස මහත් පුදුමයෙන් පිරුණු දෑස් වලින් බලා සිටි අතර කෙමෙන් කෙමෙන් ඒ දෑස් වලට ද්වේශයත් පිළිකුළත් සම්මිශ්‍රණය වූ හැඟීම් දහරාවක් ගලා එමින් තිබිණි. ජිනාලි හුන් තැනින් නැගිට්ටවුණු අතර ඇයගේ සියොළඟම රත් වෙමින්, පුපුරා යන්නට ආසන්න ගිනි කන්දක් මෙන් හදවතෙහි කෝපය කැකෑරෙමින් තිබිණි.
'ජිනාලි උඹ...' ඇය කේන්තියෙන් කෙඳිරුවා ය.
'ඔව්, ජිනාලි තමයි' ජිනාලි කියාගත්තේ ඒ වත්සුණු තැවරුණු මුහුණෙහි කම්මුලක් මත පතිත වන්නට වලිකන තම සුරත මිටි ගුලි කරගනිමිනි.
'නන්දනී, මෙ කෙවින්ගෙ ගුරුවරයා බඳින්න ඉන්න ගෑනු ළමයා, ඔයා මොකක්ද මේ කතා කරන විදිය?' බ්‍රයන් ඇසුවේ ඉමහත් පුදුමයකිනි.
නන්දනී තද පැහැති ආලේපනයක් තැවරූ යටි තොල වරක් තදින් සපා, උපහාසාත්මක සිනාවක් නැගුවා ය. ඇගේ උඩු තොල මත සියුම් දහදිය බිඳු මතු වෙමින් තිබිණි.
'බ්‍රයන්, මේ කවුද කියලා උඹ දැන ගත්තොත්, උඹ මෙතන මොහොතක්වත් රැඳෙන්නෑ'
ටාර්ජා තැති ගැන්වී බලා සිටි අතර කෙවින් ද තැති ගැන්වී ජිනාලිගේ අතේ තදින් එල්ලී සිටියේය.
'මං කියන්නම්, මුළු විස්තරේම මං කියන්නම්, ඊට කලින්..' නන්දනී කතාව නවතා ටාර්ජා දෙස බැලුවා ය.
'ටාර්ජා, දරුවා එක්ක මෙතනින් ටිකකට යන්න, මේ කුණු ගොඩවල් වලට ඔයා සම්බන්ධ වෙන්න ඕන්නෑ' ටාර්ජා වහා හිස සලා නන්දනීට එකඟ වූවා ය. ඇය කෙවින්ව ජිනාලිගෙන් මෑත් කරගන්නා විට කෙවින් ජිනාලිගේ අත අල්ලාගෙන හඬන්නට විය.
'කෙවින්, ඔයා මමා එක්ක යන්න ඩාලිං, මං ටිකකින් එන්නම් හොඳ ද?' ජිනාලී එසේ කීව ද කෙවින් ඉකි ගසමින් හැඬීම නතර නොකළ අතර, ටාර්ජා කෙවින්ව බලෙන්ම ඇදගෙන පසෙකට ගියා ය.
'නන්දනී' බ්‍රයන් කී අතර ඒ නම ඇසූ ජිනාලිගේ කෝපය තවත් ඇවිලෙමින් තිබිණි.
'මොකක්ද මේකෙ තේරුම?'
'බ්‍රයන්, උඹට අඳුර ගන්න බැරි ද, මේ ඉන්නෙ සමන්තිගෙ දුව'
'මොකක්?' එවර හුන් තැනින් නැගිට්ටවුණේ පෙරේරා ය. 'සමන්තිගෙ?' ජිනාලි බොහෝ පුදුමයට පත් වූවා ය.
'මිස්ට පෙරේරා කොහොමද මගෙ අම්මව දන්නෙ?'
නන්දනී මහා හඬින් සිනාසුණු අතර අවට සිටි අය ද පුදුමයෙන් හිස් හරවා බලනු පෙනිණි.
'මිස්ට පෙරේරා' උපහාසයෙන් කිවූ ඈ නැවත වරක් සිනා නැගුවා ය. 'සමන්ති කියන කට්ට කපටි හිඟන අම්මණ්ඩි බ්‍රයන් පස්සෙ එල්ලි එල්ලි ආපු එකේ ප්‍රතිඵලේ තමා උඹ' ඇය නැවත වරක් උපහාසයෙන් සිනාසුණා ය. තම ඇතුළාන්තයම දෙදරා යන සෙයක් ජිනාලිට දැනිණි. ඇය නැවතත් පුටුවට ඇද වැටුණු අතර, බ්‍රයන්, සමන්ති... ඒ නම් ඇයගේ හිස් කබල තුළ දෝංකාර දෙන්නට විය. ඒ සමඟම අතීත සිදුවීම් ගණනාවක මතකයන් ඇගේ සිත තුළට කාවදින්නට වූයේ ගංවතුරක් මෙනි.
--------------------------------------------------
අවුරුදු විසි නවයක් පුරාවට ඇයට පියෙක් සිටියේ නැත. ඇයට අම්මා ද තාත්තා ද දෙදෙනාම වූයේ ඇගේ මව ය. ඔවුන් දෙදෙනාට මේ ලෝකය තුළ සිටියේ ඔවුන් දෙදෙනාම පමණි. නෑයෙක් කියා යම් කිසිවෙක් සිටියේ නම් ඒ රන්දිකගේ මව, සීයා හා නැගනිය අංජලී ඇතුළු ඔහුගේ පවුලේ උදවිය පමණි. ඇය රන්දිකව හඳුනා ගත්තේ උසස් පෙළ සඳහා ඇය ඇතුළත් වූ පාසලේදී ය. එදා පටන් රන්දික ඇයගේ මිතුරා වූ අතර ඔහුගේ පවුලේ උදවිය ද ජිනාලි හා මව සමඟ බොහෝ සමීපව ඇසුරු කළහ. ජිනාලිගේ මව සමන්ති දිසානායක ය. ජිනාලිගේ තාත්‍තා ජිනාලි කුසේ සිටි කාලයේදීම සමන්තිව හැර ගිය බවක් හැරෙන්නට ජිනාලි තාත්තා පිළිබඳ කිසිවක් නොදත්තා ය. තාත්තා ගැන අසන සෑම වතාවකදීම අම්මා කීවේ එකම එක දෙයකි.
'කවදාක හරි ඔයාට තාත්තව මුණ ගැහෙයි පුතේ, තාත්තට අපිව දාලා යන්න ඕනි උනේ නෑ, තාත්තා මාව බඳිනවයි කියලා හිටියේ ඉක්මණින්, ඒත් එයාගෙ තත්ත්වෙට අපිව ගැළපුණේ නෑ. තාත්තගෙ පවුලෙන් තාත්තට ගොඩක් බලපෑම් ආවා, ඉතිං එයාට යන්න උනා, තාත්තා ගැන වරදක් හිතන්න එපා, තාත්තා ගැන හොයන්න යන්නත් එපා, හැමදේම හොඳට විසඳෙයි'
ඇය මවගේ සිත සනසණු පිණිස ඉන් සෑහීමට පත් වූ බවක් ඇඟෙව්ව ද ඇය තාත්තා පිළිබඳ සොයා ගැනීමට බොහෝ උත්සහ කළා ය. එහෙත් ඇයට කිසිවක් සොයාගන්නට හැකිවූයේ නැත. තාත්‍තාගේ නම ඇසූ විට පවා අම්මා කියා සිටියේ ඔහුගේ නම විකී බව වුවත් ඇයට කෙදිනකවත් විකී දිසානායක කෙනෙක් හමු වූයේ නැත. බොහෝ කලක් උත්සහ කළ ද තාත්තා හමු නුවූ කල, ඇය තාත්තා සෙවීම අත් හැර දැම්මා ය. යළිත් ඇය තාත්තා සෙවීම ආරම්භ කළේ රන්දික හමුවේ තම කතාන්දරය දිග හැරීමෙන් පසුව ය. ඒ වන විට රන්දික සරසවියේ අවසන් වසර සිසුවකු වූ අතර ජිනාලි පුද්ගලික සමාගමක කුඩා රැකියාවක් කරමින් සිටියා ය. ඇයට පහසුවෙන්ම සරසවියට යා හැකිව තිබූ නමුත් ඈ එය අත් හැර දැම්මේ මුදල් වල උවමනාව දැඩිව දැනුණු හෙයිනි. මවගේ කුඩා රැකියාවෙන් ඔවුන් දෙදෙනාට සාමාන්‍ය අයුරින් ජීවිතය ගෙන යා හැකිව තිබුණත් ඇයට ඔවුන්ගේම කියා නිවෙසක අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබිණි. ඔවුන් සිටියේ කුලී නිවෙසක ය. නිවෙස හිමිකාරිනිය වූ නන්දනී කුලී එකතු කරගන්නට පැමිණි සෑම දිනෙකම අම්මාට ඇති තරම් දොස් කියා අපහාස කොට මුදල් රැගෙන යනු ඈ ඉවසුවේ අපහසුවෙනි. වරක් ඉවසීමේ සීමාව පැන ඈ නන්දනීට කෑගසන්නට ගිය ද අම්මාගේ හඬා වැටීම හමුවේ ඇය නිහඬ වූවා ය. නන්දනී පැමිණි සෑම දවසකම කිවූයේ එකම ආකාර කතා ගොන්නකි.
'කුලප්පුවට මිනිස්සු පස්සෙ ගිහින් ළමයි හදාගත්තා වගේ නෙවෙයි, පහු වෙනකොට තමා අමාරුව තේරෙන්නෙ, දුවත් අම්මගෙ අඩි පාරෙම ගියොත් තමා වැඩේ'
අම්මා ඒ සියල්ල නිහඬව විඳ දරාගෙන සිටි අයුරු ඇයට අද මෙන් මතක ය.
'විශ්වවිද්‍යාල වලට ගියා කියලා කාටද බං හරි ගියේ, එතන ගිහින් කොල්ලෙක් අල්ලගෙන දෝණි ඇන්දා පැනලා ගියදාට තමා' තමා සරසවියට තේරුණු බව අම්මා කිවූ විට නන්දනී උපහාසාත්මකව කිවූ අයුරු ඇයට සිහි විය. 'හැබැයි ඉතිං ඒකටත් බය වෙන්න දෙයක් නෑ, හරි හමං ජාතකයක් නැති, සල්ලියක් දේපළක් නැති කෙල්ලෙක්ට කැමති වෙයි ඇයි වැදගත් කොල්ලෙක්, කැමති උනත් වෙන්නෙ කොහෙ හරි යන රස්තියාදුකාරයෙක් තමා' නන්දනී එසේ කියන්නට ද අමතක නොකළා ය.
අම්මා කිසිවක් නොකීවා ය. අම්මාගේ නිහඬතාව ඇයට විශාල ප්‍රශ්නයක් විය.
'අම්මා, ඇයි අම්මා ඒ ගෑනිට හැමදේම කියන්නෙ? ඒ කවුද අපෙ? එහෙම කියන්න තරම්?' ජිනාලි ඇසුවේ කෝපයෙනි.
'මොනවා උනත් අපිට වැටිලා ඉන්න තැන දීලා තියෙන මනුස්සයනෙ පුතේ' කිවූ අම්මා නෙතට ඉනූ කඳුලක් පිසලා ගත්තා ය. ජිනාලි කිසිවක් කියන්නට ගියේ නැත. ඇය අම්මාගේ සිත රිදවන්නට කොහෙත්ම කැමති නුවුණා ය.
නන්දනී අවසන් වරට ඇයට මුණ ගැසුණේ මීට වසර තුනකට පෙර ඔවුන් ඒ කුලී නිවසෙන් පිටමංව ඔවුන්ගේම අලුත් නිවදිනයේ පැමිණි දිනයේ දීය.
'නන්දනී, අපි යන්නෙ වැඩි දුරකට නෙවෙයි, මං ලිපිනෙ ලියලා තියෙනවා අපේ කාමරේ දොර පිටිපස්සෙ, ඕනි උනොත් එහෙම...' අම්මාගේ දෙනෙත් වලින් කඳුළු රූරා වැටුණු හැටි ඇයට සිහි විය.
'ලිපින මොකටද ආය, යන තැනකට යන එකයි ඇත්තෙ, අදින් සම්බන්ධකම් ඉවරයි'
නන්දනී අනුකම්පා විරහිතව කීවා ය. අලුත් නිවසේ ලිපිනය ඇයට දුන්නේ ඇයිදැයි අම්මාගෙන් අසන්නට ජිනාලිට සිතුණ ද ඇය එය අමතක කර දැමුවා ය. අම්මාගේ මේ තේරුමක් නැති ළැදියාව ප්‍රශ්න කිරීම ඇය නතර කොට තිබිණි. පියෙක් නැති දියණියක් සමඟ අවුරුදු විසි හයක් තිස්සේ තනි වුණු ගැහැනියකගෙන් ප්‍රශ්න නගා තවත් ඇයව පීඩාවට පත් කරන්නේ ඇයිදැයි ඇය සිතුවා ය. ඇය මේ අවුරුදු විසි හය පුරාමත් ඊට පෙර අවුරුද්දකුත් ඕනෑ තරම් දුක් ගිනි උහුලා තිබෙන බව ඇයට අමතක කළ නොහැකි විය.
ගෙවී ගිය වසර විසි හයට වඩා හොඳින් ඉන් පසු වසර තුන ගෙවී ගියේ ය. ජිනාලි තම ආයතනයේ උසස්වීම් ලැබුවා ය. ඇයට පියාගේ අඩුව හැර වෙන කිසිවකින් අඩුපාඩු තිබුණේ ද නැත. එහෙත් ඇය තවමත් පියාව සෙවීම අත් හැර දමා තිබුණේ නැත.අම්මාත්, රැකියාවත්, ඇය උපයාගත් දේවලුත් හැර ඇයට තිබුණේ රන්දිකගේ මිත්‍රත්ත්වයත්, ඔහුගේ පවුලේ අයගේ සෙනෙහසත් පමණි. රන්දිකගේ අම්මාත්, නංගීත්, සීයාත් ඇයට බොහෝ සෙයින් ආදරය කළහ.
උසස් අධ්‍යාපනය නිමවා රන්දික දිවයිනට පැමිණියේ මේ වසර මැදදී ය. ඔහු තම පියා සෙවීම විදේශගතව සිටිය දී පවා අත් හැර දමා නොතිබුණු නමුත් නැවත පැමිණි විට ඒ ගැන වචනයක් හෝ කීවේ නැත. ජිනාලි ද ඒ ගැන විමසීම අත් හැරියා ය. පියා යළි දැකීමේ අපේක්ෂාව ඇය අමතක කළා ය. දැන් ඇය තම පියා ඉදිරියට පැමිණ ඇත. එහෙත්...
ඇය පියවි ලෝකයට පැමිණියේ පියාගේ කටහඬිනි.
'ජිනාලි...'
ගිනිමැලයක් සේ ඇවිලෙන ළයෙන් යුතුව ජිනාලි කඳුළු අතරින් තමා පෙර නුදුටු පියා දෙස බැලුවා ය.
'තාත්තේ...' කටට නුහුරු ඒ වචනය ඇය කියාගත්තේ අපහසුවෙනි.
නන්දනී යමක් කියන්නට උත්සහ කළ ද පෙරේරා එය වැළැක්වූයේ ය.
'ජිනාලි, මං කැමතියි ඔයා මට තාත්තා කියලා කියන්නෙ නැත්තං'
ජිනාලිගේ හදවත මොහොතකට නැවතිණි.
'තා..' ඇය අපහසුවෙන් තමාව නතර කර ගත්තා ය.
'ජිනාලි, ඔයාගෙ අම්මත් එක්ක මට කිසි සම්බන්ධයක් නෑ දැන්, අපි දෙන්නා ගැළපුණේ නෑ. අනික අපේ පවුලෙන් කැමති උනෙත් නෑ ඔයාගෙ අම්මට. ඉතිං ඒක නැවතුණා, දැන් ඒවා ඉවරයි, ඔයා දන්නවා ඇතිනෙ, නන්දනී කියන්නෙ මගෙ අක්කා, එයා ඔයාලා ගැන බැලුවා, මට මගේ ජීවිතේ හදාගන්න වෙන්නෙ නෑ එයා හිටියෙ නැත්තං' ඔහු මඳකට නැවැත්වීය. මේ ඇසෙන සියල්ල සත්‍යයක්මදැයි වටහාගත නොහැකිව ජිනාලි ගල් ගැසී සිටියා ය. ඇයට අම්මාගේ මුහුණ මැවි මැවී පෙනෙන්නට විය. අම්මා එතරම් නන්දනීට ළැදි වූයේ ඇයිදැයි දැන් ඇය දන්නී ය.
'සමන්ති හිතන් හිටියෙ සමන්ති කියන හෑලි ඔක්කොම මං ඔයාට කියයි කියලා බ්‍රයන්' නන්දනී උපහාසාත්මකව සිනාසුණා ය. පෙරේරා කිසිවක් කීවේ නැත. ජිනාලිට කිසිවක් කතා කරගත හැකි නොවීය.
'ඔයාගෙ අම්මව මම පොරොන්දු කරගත්තා මගේ කිසිම දේකට ඔයාව සම්බන්ධ කර නොගන්න බවට' වළාකුළු අතරින් හිරු බැබළෙන්නට ගන්නාක් මෙන් ජිනාලිට සියල්ල පැහැදිලි වෙමින් තිබිණි.
'ඒත් මං දන්නෑ කොහොමද මෙහෙම උනේ කියලා, මේක හරිම අහම්බයක්'
'කෙවින්... මගෙ මල්ලි...' ජිනාලි කියන්නට වූයේ නොපැහැදිලිව ය.
'ප්ලීස් ජිනාලි, කෙවින් ගැන ඔයා කරදර වෙන්න එපා. මං කැමති නෑ මේවා හින්දා කෙවින්ගෙ අනාගතේට මොනවත් ප්‍රශ්න ඇති වෙනවට' යම් කිසිවක් කෝපයෙන් කියන්නට උත්සහ කළ නන්දනීව නැවතත් වළක්වමින් පෙරේරා බැරෑරුම් ලෙස කියන්නට විය. ජිනාලිට අම්මාගේ අසරණ මුහුණ මැවි මැවී පෙනෙන්නට විය.
ඇගේ සෙල් ෆෝනය නාද වන්නට විය. ඇය වෙව්ලන සුරතින් එය සාක්කුවෙන් පිටතට ගෙන එහි තිරය දෙස බැලුවේ කඳුළැලි දහරා කොපුල් දිගේ නොනැවතී ගලන අතරේ ය.
රන්දික...
වහා කඳුළු පිසලා ගත් ඇය හුන් තැනින් අපහසුවෙන් නැගිට ගත්තා ය.
'කවදාවත් තිබුණෙ නැති සම්බන්ධයක් මට කවදාවත් ඇති කරගන්න ඕනිත් නෑ. කොහොමත් තමන් ආදරේ කරපු කෙල්ල ගැන වගකීමක් ගන්න බැරි උන, ඒ කෙල්ල අසරණ උනාම මඟ ඇරලා යන කොන්ද පණ නැති පිරිමියෙක්ට තාත්තා කියනවට වඩා මට තාත්තෙක් නැති එක හුඟක් හොඳ දෙයක්, ඒ වගේම මනුස්සකම් නැති පහත් මිනිස්සුන්ට නෑදෑකම් කියනවට වඩා මට නෑයො නැති එක ඊටත් වැඩිය හොඳ දෙයක්, මං යන්නම්'
නන්දනී ගල් ගැසී බලා සිටියා ය. අවුරුදු විසි හයක් පුරා තම මව අසළින් කිසිත් නොකියා දැවෙන දෑසින් නිහඬව බලා සිටි කෙල්ල මෙසේ කතා කරන්නේ කෙසේ ද? පෙරේරා යමක් කීමට උත්සහ කරත් ජිනාලි ඔහුට පිටුපා සෙනඟ අතරින් ඇවිද ආවා ය.
'රන්දික...' ඈ ඇමතුම සම්බන්ධ කරගත්තේ තටාකය අසළින් ගොඩනැගිල්ල තුළට යොමු වූ කුඩා පඩි පෙළ බසිමිනි.
'ජිනාලි ඔයා...'
'රන්දික...' කියමින් මන්දාලෝකයෙන් නැහැවුණු කොරිඩෝවට පිවිසුණු ජිනාලිට හැඬුම් වාවාගත නොහැකි විය. ඇය ඉකි ගසන්නට වූයේ ජීවිත කාලයක් පුරා සිර කොටගෙන සිටි කඳුළු වලට නිදහසේ ගලා යන්නට ඉඩ දෙමිනි. කොරිඩෝවේ කිසිවකු නොසිටීම ඇගේ මහත් සහනයට හේතු විය.
'ජිනාලි... ජිනාලි...' රන්දික වික්ෂිප්ත විය.
'රන්දික මං දැන් ගෙදර යනවා, මට අම්මා ළඟට යන්න ඕනි'
'ඔයා එන්නකො, මං ලොබි එකේ ඉන්නෙ'
ජිනාලි තම කාමරය දෙසට යෑම නවත්වා රන්දික සොයාගෙන දිව ගියා ය. ඇය තම හැඬුම නැවැත්වූයේ රන්දිකගේ වාහනයේ ඉදිරිපස අසුනට නැගීත් බොහෝ වෙලාවක් ගතවූ පසුව ය. රන්දිකගේ වාහනය නවතා තිබුණේ හෝටලයේ වාහන අංගනයේ ය. ඔහු ජිනාලිට රිසි සේ හඬන්නට ඉඩ හැර ඈත අහස දෙස බලාගෙන සිටින්නට විය.
'ජිනාලි...'
'රන්දික, කෙවින්ගෙ තාත්තා කියන්නෙ මගෙ තාත්තා, එතකොට කෙවින් කියන්නෙ...'
'මං දන්නවා'
'මොකක්?' හැඬීම නිසා ඉදිමුණු දෑස් හේතුවෙන් අඩ අඳුරේ ඇගේ මුහුණ පෙනුණේ වෙනස්ම අයුරකිනි.
'ඔයා කිව්වනෙ ඔයාට තාත්තව හොයා ගන්න ඕනි කියලා, මාත් ගොඩක් හෙව්වා, මටත් හුඟක් අහම්බෙන් තමයි මිස්ට පෙරේරව එහෙදි මුණ ගැහුණෙ'
'කොහොම ද?'
'කෙවින් හින්දා, කෙවින්ට සිංහල ඉගෙන ගන්න ඕනි උනා'
'එතකොට...'
'ඉතිං මට පුළුවන් නෙ, මං උගන්නන්න ගත්තා'
'ඒත්...'
'මං ඔයාගෙ තාත්තා ගැන ගොඩක් හෙව්වා ජිනාලි, විකී කියන්නෙ කෙටි නමක්, මිස්ට පෙරේරගෙ නම් වික්‍රම රයන් පෙරේරා, නන්දනී, ඒ කියන්නෙ මිස්ට පෙරේරගෙ අක්කගෙ දුව, එයා මැරි කරලා ඉන්නෙ අංජලීගේ හොඳම යාළුවගෙ අයියව, ඒ ගර්ල් ෆැමිලි එකත් එක්ක එච්චර නෑ, ඔයාලා කලින් ගෙදරින් ආව දවසෙ ඒ ගර්ල්ට ඒක දැනගන්න ලැබිලා, එයා හිතලා තියෙන්නේ ඔයාලව එළවලා කියලා, එයා සමන්ති ආන්ටි ගැන කතාව කියලා අඬලා, ඔයාගෙ වෙලාවට අංජලී ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නේ එතන, අපි ගොඩක් විස්තර හෙව්වා, ගොඩක් විස්තර ලැබුණා, මං හිතලමයි කෙවින්ලා හිටිය රටට ස්ටඩීස් වලට ගියේ, ඒත් මට තේරුන්නෑ කොහොමද එයාලට ළං වෙන්නෙ කියලා, ඒත් කෙවින් නිසා මට හොඳ චාන්ස් එකක් ලැබුණා, මං මුල ඉඳලම කෙවින්ට ඔයා ගැන කිය කිය හිටියෙ, ඔයත් හොඳ ටීචර් කෙනෙක් කියලා, ලංකාවට ආවොත් ඔයාවත් මුණ ගැහෙන්න පුළුවන් කිව්වා' රන්දික මඳකට නැවැත්වීය. ජිනාලි කුමක් කියන්නේදැයි සිතාගත නොහැකිව බලා සිටියා ය.
'මං එන්න ළං වෙලා මිස්ට පෙරේරට ඔයා ගැන කිව්වා, මං මැරි කරන්න ඉන්න කෙනා කියලා, එයාලා ලංකාවට එන බව මට කිව්වා නන්දනීව බලලා යන්න, මාවත් මුණ ගැහෙන්න ඕනි කිව්වා. මං දන්නෙ නෑ කොහොම උනා ද කියලා, ඒත් ඔයා හිටිය තැනටමයි එයාලත් යනවා කිව්වෙ, මං හිතුවා ඔයාට ඔයාගෙ තාත්තව දකින්න හොඳම අවස්ථාව මේක කියලා, ඔයා කවුද කියලා නන්දනී කියන බව මම දැනගෙන හිටියා, මං හිතුවා මිස්ට පෙරේරා ඔයා එයාගෙ දුව කියලා දැනගත්තම ආදරෙන් පිළිගනියි කියලා, ඒත් මගෙ යටි හිතට මොකද්දෝ අමුත්තක් දැනුණා, ඒකයි මාත් මෙතන්ට ආවෙ'
'කොහොමද රන්දික මෙච්චර දේවල් හොයාගෙන මෙච්චර දුරක් ගියේ?' ඈ ඇසුවේ විස්මයෙනි.
'ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ බං' රන්දික කීවේ මඳහසක් පාමිනි. ජිනාලිගේ දෑස යළිත් කඳුළින් පිරී ගියේ ය.



Comments
Post a Comment