හැරී පොටර්, ජේ. කේ. රෝලිං

 




අපට දැනෙන සියළු හැඟීම් දැනීම් වලින් පිරී ඇති පොතක් ඔබ කවදා හෝ කියවා තිබේද? සාමාන්‍ය වූත් අසාමාන්‍ය වූත් පොතක් කියවා තිබේද? සත්‍ය, අසත්‍ය දෙකම පිළිබඳව වූ පොතක් කියවා තිබේද? අපට එයින් මිදීමට නොහැකිවාක් මෙන් දැනුණ පොතක් පිළිබඳව මවිතයට පත්වී තිබෙනවාද? ඉතිහාසයේ සැඟවුණු කතා ගොන්නකින් එහි අවසානය අනාවරණය වන අතිශයින්ම දිගු කතාවක් ඔබ කියවා තිබෙනවාද? ඉහත කරුණු වලින් පරිපූර්ණ ලෙස තෘප්ත වූ කතාවක් ඔබ කියවා තිබෙනවාද? 

ඔව්, ඔබෙන් බොහොමයක් දෙනා එවන් කතාවක් දන්නා බව මම දනිමි. මන්දයත් ලෝකවාසී පාඨකයන්ගෙන් 3/4ක් තරම් එම විස්තර කළ නොහැකි තරම් අපූර්ව කතාවෙන් ආකර්ෂණය කොටගෙන ඇති බැවිනි. වසර 22කට පෙර මෙම කතා මාලාවේ පළමු පොත ප්‍රකාශයට පත්විය. එහෙත් තවමත් එම කතාව ලොවපුරා සිටින ලක්ෂ සංඛ්‍යාත කියවන්නන් විසින් කියවනු ලබයි. කියවනු ලැබීම පමණක් නොව නැරඹීමද සිදු කෙරේ. මන්ද යත් එය අද්විතීය සිනමා නිර්මාණයන් බවට පත්කොට අති බැවිනි. එම අද්විතීය කතා මාලාව හැරී පොටර් මිස අන් කවරක්වත් නොවේ. කෙනෙක්ට එම නම අමතක කළ හැක්කේ කෙසේද? කෙනෙක් එය නොදැන සිටින්නේ කෙසේද? එපමණක් නොව මායාකර්මය සඳහා වන පාසල, හොග්වෝර්ට්ස් යන නම ද අපේ සිත් වල සැමදා රැවු පිළිරැවු දේ. කුඩාවුන් පමණක් නොව වැඩිහිටියන් ඇතුළු සෑම දෙනාම මෙ'නම දනිති. මන්දයත් එය එතරම්ම ආස්වාදනීය කතාවක් බැවිනි. එයින්ම මෙහි කැපී පෙනෙන ජනප්‍රියතාව විදහා දැක්වේ. මෙම කතාව බිහිවූයේ එක් කාන්තාවකගේ මනස තුළය. ඇය හැරී පොටර් හී සුවිශිෂ්ට නිර්මාණකාරිනිය වන J. K. Rowling ය.

මෙම කතාව ගෙතී අත්තේ මෙහි ප්‍රධාන චරිතය වන හැරී පොටර් නම් අනාථ දරුවා වටාය. අඩුම වශයෙන් මෙහි සාරාංශයක් ගෙනහැර දැක්වීමවත් අනවැසි බව දනිමි. මන්දයත් පාහේ මෙහි සියළු පාඨකයන් සහ ප්‍රේක්ෂකයන් එය දන්නා බැවිනි. (එහෙත් පාඨකයන් පමණක් මෙහි සියළු කොටස් දනිති.) 
මෙම කතා මාලාව කොටස් හතකින් සමන්විතය. එනමුත් එය එපාවනසුළු අලසකාරී ස්වාභාවයක් දරන්නක් නොවන නිසා ඒ පිළිබඳව කරදරකාරීව සිතීම අනවැසිය. මෙය නැවතුමක් නොමැතිව අඛණ්ඩව කියවාගෙන යා හැකි කතාවකි. ඔබේ වයස කෙතරම්ද යන්න ගැටළුවක් නොවේ. එය නිසැකයෙන්ම ඔබව අමන්දානන්දයට පත් කරනු ඇත. 

මෙම වර්ණවත් කතාංගය ගෙතීමට ඉහත දැක්වූ ලක්ෂණ පහම යොදාගෙන ඇත. අප දන්නා සහ අපට හැඟෙන සියළු හැඟීම් වලින් මෙය පිරී ඇත. සතුට, උද්දාමය, විස්මය, ශෝකය, ඊර්ෂ්‍යාව, අපේක්ෂා භංගත්වය, ආදරය, අසරණ බව, වෛරය, එඩිතර භාවය, නොයිවසිල්ල, ඉවසීම, පසුතැවීම, කුතුහලය, ලැජ්ජාව, කරුණාව, ව්‍යාකූලත්වය, හාස්‍යය, භීතිය, ත්‍රාසය, තෘප්තිමත්බව ආදියයි. බොහොමයක් හැඟීම් දැනීම් පිළිබඳ එහි ලියවී ඇති අතර, ඒවා මතකයට නගා ගැනීමද අසීරුය. 

මෙය සාමාන්‍ය මිනිසුන් අතර වෙසෙන විශේෂ ජන කණ්ඩායමක් (මායාකරුවන් හා මායාකාරියන්) පිළිබඳ ලියැවුණකි. (කතාවට අනුව සාමාන්‍ය මිනිසුන් හැඳින්වෙන්නේ ගොබ්බයන් ලෙසය) (අභය හේවාවසම් මහතාගේ පරිවර්තන වල muggles සඳහා යොදාගෙන ඇති යෙදුම ගොබ්බයන් යන්නයි) මෙය සත්‍ය මෙන්ම අසත්‍ය පිළිබඳවද ලියැවුණක් වන්නේ එබැවිනි. 

මෙය මිනිසුන් පිළිබඳව වුවත්, මෙය අප දන්නා ආකාරයේ මිනිසුන් පිළිබඳව නොවන බව අපි දනිමු. මන්දයත් ඔවුන් අසාමාන්‍ය මිනිසුන් බවට පත් කරවන, මායාවන් කිරීමේ හැකියාව ඔවුන් සතු වන බැවිනි. ඔවුන්ට අවකාශය තුළින් යම් යම් දේවල් මවා ගත හැකිය. ඔවුහූ මායා යෂ්ටි භාවිතා කරති. ඔවුන් ස්නීකෝස්කෝපය, ඔමිනොක්යුලර්ස් වැනි මායා මෙවලම් භාවිතා කරති. මේවා හැර ඔවුන්ට විශේෂ වූ අසීමිත සංකල්ප හා දේවල් ගණනාවක් ඇත. Occlumency(වෙනත් අයෙකු තම මනසට ඇතුළුවීම අවහිර කරන ශිල්පය), legilimency(වෙනත් අයකුගෙ සිතුවිලි කියැවීමට යොදාගන්නා ශිල්පය), apparation, disaparation, floo network(එක් තැනකින් තවත් තැනකට යාමට යොදාගන්නා ක්‍රම), transfiguration(ස්වරූපය වෙනස් කිරීමේ ඉන්ද්‍රජාල ශිල්පය), arithmancy(මායාකර්මයේ එක් විෂයක්), veritaserum (යමෙකුගේ සිත තුළ සඟවාගෙන සිටින කරුණු අනාවරණය කරගැනීමට යොදාගන්නා පානයක්), pensive(යමෙකුගේ මතකයන් ගබඩා කරන්නක් හා එම මතකයන් වලට ප්‍රවේශ වීමට දොරටුවක් ලෙස යොදාගත හැකි බේසමක් වන් මෙවලමකි), horcrux(අමරණීය වනු පිණිස තම ආත්මය කොටස් වලට වෙන් කිරීමෙන් පසුව ලැබෙන ආත්මයේ කොටසක්), invisibility cloak(අදිසි කබාය), resurrection stone(මළවුන් කැඳවීමේ පාෂාණය), elder wand (වැඩිමහල් යෂ්ටිය)
ක්විඩිච්(ඉන්ද්‍රජාලිකයන්ගේ ක්‍රීඩාවක්), ස්නිච් හා ක්වෆල්ස්(එම ක්‍රීඩාව සඳහා යොදාගන්නා පන්දු), ෆීලික්ස් ෆෙලිසිස්(සිතූ පැතූ දේ ලබාදෙන පානය), බොහොමයක් මායා මන්ත්‍ර(protego, sectemsempra, expelliarmus, expecto petronum, piertotum locomotor, cave inimecum, levicorpus ආදිය), නොබිඳිය හැකි දිවුරුම්, සමාව නොදිය හැකි ශාපයන්(cruciatus curse, imperious curse, avada kedavra), threstles, flobber warms, bowstruckles, fire crabs, blast ended screwts වැනි මායා සත්ත්ව විශේෂ, gillyweed, whomping willow, devil's snare වැනි මායා ශාක විශේෂ, polyjuice potion(ස්වරූපය වෙනස් කරගැනීමට පානය කරන්නක්), inferi(පිල්ලි වැනි ජීවීන්) ආදියයි. ඔවුන්ටම විශේෂ වූ මෙවන් සංකල්ප හා දෑ අසීමිතය. මෙය සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය වන්නේත් එබැවිනි.
වෙනත් කුඩා කතා පොකුරක් සමඟ හැරී පොටර් නිම වේ. ටොම් රිඩ්ල්ගේ ජීවිත කතාව, සහෝදරයන් තිදෙනාගේ කතාව, ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ ජීවිත කතාව, අඩලේ (halfblood) කුමාරයාගේ කතාව, ජීවත් වූ දරුවා පිළිබඳ අනාගත
වාක්‍යය ආදියයි. කතාවේ ගලා යෑම මඟින් පාඨකයාව අඛණ්ඩව කතාව කියැවීමට පෙළඹවේ. එසේම එමඟින් කතාවේ රසවත් භාවය තවත් ඔප්නැංවේ. මෙම කතාන්දරය කියැවීමේදි මගේ මගේ මොළය තුළ නැවත නැවත ඇසුණු දහසක් දෑ අතුරින් එක් දෙයක් වන්නේ ලේඛිකාව මෙවැනි දෑ මවාගන්නට ඇත්තේ කෙසේද යන්නයි. ආත්මය කැබලි කොට හෝර්ක්‍රක්සස් සෑදීමක් පිළිබඳව යමෙක් සිතන්නේ කෙසේද? ලේඛිකාවගේ දක්ෂතාව මින් මනාව පැහැදිලි වේ. 
මෙම කතාන්දරය කියැවූ කිසිවකුට මෙය කෙදිනකවත් අමතක නොවේ යැයි මම සිතමි. මෙය කතාන්දරයක් නොව J. K. Rowlingගේ මනස තුළ මැවුණු, සැබැවින්ම හැරී පොටර්ට ඇබ්බැහි වූවන්ට පමණක්ම ඇතුළු විය හැකි සමාන්තර ලෝකයකි. මා මෙය කියවා අවසන් කළද, දවස් කිහිපයක් යන තුරුම ඒ පිළිබඳව නොසිතා සිටීමට මට නොහැකි විය. මෙය මා විස්තර කළ නොහැකි අන්දමින් මා අමන්දානන්දයට පත් කළේය. මෙම ලිපිය ඇරඹීමට පෙර හැරී පොටර් පිළිබඳ ලිවීම පහසු කටයුත්තක් බව මා සිතූ නමුදු, එය කෙතරම් දුෂ්කර කටයුත්තක්ද යන්න දැන් මම දනිමි. මන්දයත් තවත් බොහෝ දේ ලිවීමට ඇති බැවිනි. මෙම කතාන්දරය පිළිබඳ මට ලියා නිමකළ නොහැකි සෙයක් දැනේ. මෙම සියළුම හේතූන් නිසා මෙය සාහිත්‍යයේ සුවිශේෂි නිර්මාණ කාර්යයක් බවට පත්වේ. මෙම කතාන්දරය විසින් එය අමරණීයත්වයට පත් කරන අමෘතය අවශෝෂණය කරගෙන ඇත්තාක් මෙන් දැනේ. කතාන්දරය පිළිබඳව මට හැඟෙන'යුරු තවදුරටත් කීම දුෂ්කරය. එබැවින් බොහොමයක් දෙනා විසින් 'හැරී පොටර්' වර්ණිත ආකාර වලින් බිඳක් ගෙන දැක්වීමට සිතීමි. 

හැරී පොටර් විසින් ජප කළ මන්ත්‍රය අගයන්නට ඔබ කුඩා දරුවෙක් හෝ ඉන්ද්‍රජාලිකයෙක්ම විය යුතු නැත. 
- USA Today

හාස්‍යජනකයි. චිත්තාකර්ෂණීයයි. සොව සහ අනුකම්පාව අවුලන සුළුයි. 
-The New York time book review 

මෙවන් ආකර්ෂණීය, ප්‍රතිභාපූර්ණ හාස්‍යජනක, ඒ සියල්ලටම වැඩියෙන් හද පිනවන, අතිශය ප්‍රබෝධමත් දීර්ඝ කතාන්දරයක් නිර්මාණය කිරීමට ඇයට ඇති හැකියාවම මායාවෙන් අනූන වන්නක් බැවින් Hogwarts පාසලෙන්ම J. K. Rowling සාර්ථක අධ්‍යාපනයක් ලැබුවා විය යුතුය.
-Publishers Weekly 

භීතියේ හා අපේක්ෂා භංගත්වයේ ක්‍රියාවලි සමඟ අප ෆීනික්ස් නිකාය කියවා අවසන් වන විට ළමා සාහිත්‍යය හා පැරණි සාහිත්‍යය අතර පැවති වෙනසෙහි පැවැත්ම නිම වී ඇත. මෙම කතා මාලාව දශක ගණනාවකට නොව, යුග ගණනාවක් සඳහාය. 
-Stephan King, Entertainment Weekly

හැරී වයසින් මුහුකුරා යත්ම, Rowling ගේ හැකියාවද වඩාත් හොඳ තත්ත්වයකට පත් වී ඇත. 
- John Leonard, The New York Times Book Reviews

ඉදින්, ජීවත් වූ දරුවා පමණක් නොව, ඔහුගේ සුවිශිෂ්ට පාසල, Hogwarts ද, ඔහුගේ අඹ යහළුවන්ද, ඔහුගේ මිතුරන්ද, ඔහුගේ පාසල් සගයෝද, පිළිමළුන්ද, ඔහුට උපකාර කළ අයවළුන්ද, අනෙකුත් සියළුම චරිතයන්ද එමෙන්ම ඔහුගේ සුවිශේෂී වීර වික්‍රමාන්විත ත්‍රාසජනක කතාන්දරයද, අපේ හදවත් තුළ සදා නොමැකී පවතිනු ඇත. 

(පොත් සහ සිනමාපට යනු වෙනස්ම ආකාරයේ මාධ්‍යයන් දෙකක් බවත් සිනමාපට මෙන් නොව පොත් වලට අසීමිත ලෙස කරුණු අඩංගු කරගත හැකි බවත් සැබෑය. එහෙත් ඔබ සියළු හැරී පොටර් පොත් කියවා ඇත්නම් සිනමාපට 'වැඩකට නැති දෙයක්' බවට පත්වනු ඇත. මන්දයත් සිනමාපට වල ඇත්තේ මෙම කතා මාලාවේ සංක්ෂිප්ත ආකාරයන්ය. එබැවින් ඔබට 'හිතේ හැටියට' කතාව රස විඳීමට අවැසි නම්, ඔබ අනිවාර්යයෙන් හැරී පොටර් පොත් පෙළ කියැවිය යුතුමය.)

Comments