කඳුළු නැති ලෝකය, චාරුණ්‍යා දෙහිගම
අසම්මතය සම්මතය කරන්නට, හිතක් යට ගිනි දැල් අවුලන්නට බොහොමයක් අකුරු අමුණන යුගයක, දුලබ මිණි වැනි ශ්වේත රූ කිහිපයක් අතරමැදිව දිව යන හිතක් නිවා සනහාලන්නට ලියැවෙන වියමන්ද නැතුවා නොවේ. ❤❤❤
කඳුළු නැති ලෝකය, තරුණියක හා තරුණයෙකු අතර දිවෙන ආදර කතාවක හා මිණිබිරියක හා ඇගේ අත්තම්මා අතර දිවෙන සෙනෙහසක කතාවක සම්මිශ්‍රණයක් යැයි හැඳින්වීම වඩා නිවැරදිය. නෙළුම්, සාලින්ද, නෙළුම්ගේ අම්මා, අත්තම්මා සහ සෙසු චරිත වටා දිවෙන කඳුළු නැති ලෝකය, එහි පිදුමේ පටන්ම අතිශයින් සිත සංවේදි කළ, කැළඹුණු සිතකට ඔසුවකි.
සරු තණබිම් සොයා කතාවේදී මෙන්ම කඳුළු නැති ලෝකය තුළදීද අපට හමුවන චරිත සියල්ලම වාගේ අධ්‍යාත්මික ගුණ වගාවෙන් පෝෂණය ලද්දවුන් ය. ඒ සියළුම චරිත වලින් පාඨකයාගේ ජීවිතයට එක් කරන්නේ වටිනා පණිවුඩ රැසකි.
බැඳීමක රැඳීමම දුකක් වුවද අප වටා පවතින බැඳීම් ජාලයේ අවශ්‍යතාවද, ඒ වෙනුවෙන් කළ යුතු කැප කිරීම් ද කඳුළු නැති ලෝකයෙන් මැනවින් කියාදේ. එසේම, නෙළුම්ගෙ මවගේ, අත්තම්මාගේ, සාලින්දගේ අම්මාගේ, ඇග්නස් හා සිසිලියාගේ චරිත තුළින් පවා ගැහැනියක සතු අසීමිත දරා ගැනීමේ හා කැපවීමේ හැකියාව මනාව ඉස්මතු වන බව හොඳින්ම හැඟේ.
අත්තම්මාගේ චරිතය, මේ කතාවේ මගේ වඩාත්ම සිත්ගත් චරිතය යැයි මට සිතේ. ජීවිතයේ සැබෑම අරුත වටහා ගනිමින්, වඩාත් අරුත්බර ජීවිතයක් ගෙවන අත්තම්මාගේ චරිතය, දෑස් අඳවුන් හා හදවත් නැත්තවුන් සේ හැසිරෙන වර්තමාන සමාජයේ වැඩිහිටියන්ට දුන් කම්මුල් පහරක් වැනිය. ජීවිතය පිළිබඳ යථාබවබෝධයක් ඇති ඇගේ චරිතය, මවක්, මිත්තණියක්, නැන්දම්මෙක් ආදී විවිධ චරිත වලට පණ පොවමින් දිවිගෙවන සෑම ගැහැනියක් විසින්ම තම තමන්ගේ ජීවිතයට ඈඳා ගත යුතු යැයි මට හැඟේ.
නෙළුම්ගේ හා අත්තම්මාගේ අතර බැඳීම මගේ සිතට මෙතරම් කාවදින්නට ඇත්තේ මා ද මගේ මිත්තණියට දැඩිව බැඳී සිටි හෙයින් යැයි සිතමි. එවන් බැඳීම් කෙසේ වෙතත් මාපිය දූ දරු සබඳතා පවා ගිලිහෙමින් පවතින කාලයක නෙළුම් හා ඇගේ අත්තම්මා එකිනෙකාට දක්වන සෙනෙහස සැබැවින්ම සංවේදීය. අත්තම්මාගේ මියැදීම මගේ සියොළඟ හිරිගඩු නංවා නෙතඟට කඳුළු එක්කළ බව කීම අතිශයෝක්තියක් නොවේ. මේ සටහන ලියන මොහොතේ පවා ඒ සිදුවීම හා මා සැබෑවටම මුහුණ දුන් මගේ මිත්තණියගේ මරණයේ මතකයන් අතර මගේ සිත දෝලනය වෙමින් නෙත් වලට කඳුළු නැඟේ.
ආදරය නිසා නොව, වෙනත් විවිධාකාර අවශ්‍යතා වෙනුවෙන් ප්‍රේම සම්බන්ධතා ගොඩ නංවා ගන්නා සමාජයක, නෙළුම් හා සාලින්දගේ වැනි සම්බන්ධතා සොයා ගැනීම කළුනික සෙවීමටත් වඩා අපහසු වනු ඇත. මුදල් පිණිස හා කායික අවැසිතාවන් සන්තර්පණය කරගැනීම පිණිස සබඳතා ඇති කරගන්නා, මාසයෙන් දෙකෙන් තම ප්‍රේම කතාවන් හමාර කරන සමාජයක කඳුළු නැති ලෝකය තුළදී අප දකින යුවළගේ සබඳතාව තරුණ පරපුරට ලබා දී ඇත්තේ ආදර්ශයකි. සාලින්දගේ චරිතය මට සිහි කළේ කුමාර කරුණාරත්න මහතාගේ ඕලු නවකතා මාලාවේ අසංගගේ චරිතය හා චිංගීස් අයිත්මාතව්ගේ ගුරු ගීතය නවකතාවේ දුයිෂෙන්ගේ චරිතයයි. ඒවායේ සේම, විශ්වාසය, ගෞරවය, අධ්‍යාත්මික ආදරය මූලය කොටගත් බැඳීමක පැවැත්ම නිසැක බව කඳුළු නැති ලෝකය කියැවීමේදී නිරායාසයෙන්ම වැටහේ.
කඳුළු නැති ලෝකය ගොඩනැගෙන්නේ පවා, පාඨක සිත් නිවා සනහාලන්නට සමත් සෞම්‍ය පරිසරයක වන අතර, කෘතිය තුළ අන්තර්ගත පරිසර වර්ණනා සැබැවින්ම ඒ සුන්දර පරිසරය දෙනෙත් අබියස දෘශ්‍යමාන කරවීමට සමත් විය. තවද, පොත්ගුල්ලකුගේ ලෝකය, සාහිත්‍යකාමියකුගේ, කලාකාමියකුගේ ලෝකය කෙතරම් අපූරු, සුන්දර හා නිදහස් දැයි මෙම කෘතියෙන් අපූරු ලෙස විදහා දක්වා ඇත.
අවසාන වශයෙන් කඳුළු නැති ලෝකය, අධ්‍යාත්මික ගුණ වගාවෙන් මුදුන්පත් වූ, ඒ නිසාම, දරාගත නොහැකි, අනන්ත දුක් ගෙනදුන් වියෝවීම් මධ්‍යයේත්, තම ජීවිත ඒ ගුණදම් වලින් සුපෝෂණය කොටගෙන සුවඳවත් කොටගත් තරුණ යුවළක් හා මිනිසුන් කැළක් වටා ගෙතුණු, එක හුස්මට කියවා නිමකළ හැකි අතිශය සංවේදී කතාවක් බව කිව හැකිය. ඒ සංවේදීත්වය විඳ ගැනීමට 'කඳුළු නැති ලෝකය' කියවා බැලිය යුතු බව මගේ අදහසයි.



Comments
Post a Comment