කොරියැන්ඩර් ගේ කතාව, චාරුණ්‍යා දෙහිගම
![]() |
ලස්සන වසීලිස්සාව දැක, ග්‍රිම් සොයුරන්ගේ ඈත ඈත දේශවල අතරමං වී, නැති රටට ගොස් පීටර් පෑන්ව, ටින්කර් බෙල්ව හා වින්ඩිව හමු වී, පිනෝකියෝගේ කතා ද අසාගෙන, ක්‍රිස්ටිනාගේ සරුංගලය යවා, ඩිස්නි කුමරියන්වත් දැන හඳුනාගෙන, හෝහෝ කැලෑවේ මොහොතකට අතරමංව, ඩොරති හා ඇලිස්වත් හමුවී, නානියා දේශයත් දැකබලාගෙන, රවුම් පෙත්තන්ගේ රටටත් ගොඩ වී බොහෝ කාලයක් ඉක්ම ගොස් ඇති සෙයක් දැනිණි. බැරෑරුම් මාතෘකා ඔස්සේ පියමං කරමින්, කෙළවරක් නොපෙනෙන වගකීම් රැසක් මගේ හිස තුළ පුරවා ගනිමින් සිටි මට, මා කුඩා දැරියක්ව සිටි අවධියේ පොත් නමැති යානා වල නැගී අරුම පුදුම දේශයන් කරා පියාසර කරමින් ගත කළ සොඳුරු දින වකවානු නොස්ටැල්ජියාමය මතකයක් බවට පත්ව මගේ හිස තුළ සැඟවී මතුවෙමින් අතුරුදන් වෙමින් තිබිණි. මට ඒ සැහැල්ලු, ප්‍රීතිමත් කුඩා දැරිය බවට පත් වන්නට දැඩිව අවැසි වී තිබිණි. එහෙත් එයට මඟක් නොපෙනෙන තරම් මම සැබෑ ලෝකයේ අතරමංව සිටියෙමි.
ඒත් ඉතිං එක දවසක, නිමක් නැති දේශන ද, පැවරුම් ද, විභාග ද මොහොතකට පසෙකලා මම කොරියැන්ඩර් කියැවීම ඇරඹීමි. එතැනින් සියල්ල වෙනස් විය.
කොරියැන්ඩර්... කොරියැන්ඩර්... කොරියැන්ඩර්...
කියවා අවසන් වූ විගසම මේ කුඩා සටහන අකුරු කිරීමට සිතුවේ මා එතරම්ම කොරියැන්ඩර් කතාවෙන් වසඟයට පත් වූ බැවිනි. මායාවත්, යථාර්ථයත් අතර මැද මාවතක දිවෙන කොරියැන්ඩර්, මට මොහාන් මඩවල මහතාගේ කතා වල පසුබිම සිහි ගැන්වූයේ ඒවා ද මායාවත් යථාර්ථයත් අතර දිව ගිය බැවිනි. එහෙත්, ඔහුගේ කතා මෙන් නොව, කොරියැන්ඩර් ඔබ තුළ සිටින කුඩා දරුවා අවධි කරවන්නට සමත් සුන්දරම කතාන්දරයකි.
එක්දහස් හයසිය ගණන් වල, ඔලිවර් ක්‍රොම්වෙල්ගේ පාලන සමය හා දෙවන චාල්ස් රජුගේ සමයන් වල එංගලන්තයේ ලන්ඩන් නුවර හා තේම්ස් නදිය පසුබිම් කොටගෙන ලියැවී ඇති මෙම කතාව, කොරියැන්ඩර් හොබී නම් දැරියක වටා ගෙතී ඇත. අහඹුවෙන් අනාවරණය වන ඇයගේ කරුණාවන්ත, සුන්දර මව එලීනර්ගේ රහස ඔස්සේ දිව යන කොරියැන්ඩර්ගේ ජීවිත කතාව සුන්දර, කරුණාවන්ත මිනිසුන්ගෙන්ද, මායා ජීවින්ගෙන් හා අසුන්දර චරිත වලිනුත් පිරුණකි. කෙතරම් දුෂ්කර කාල පසු වුණ ද, කොරියැන්ඩර් ඒ සියල්ල ජයගන්නේ ඇය වටා සිටින සුන්දර මිනිසුන් ඇයට ලබාදෙන ශක්තියත්, ඇයගේ නොසන්සිඳෙන උත්සහයත්, ධෛර්යයත් නිසාවෙනි. රිදී පා වැසුම් යුගලක් හමු වීමෙන් ඇරඹෙන ඇයගේ කතාව, ඇගේ පියාගේ ලෝකයෙන් මවගේ ලෝකයට ඇය සිදු කරන අරුම පුදුම චාරිකා මට මා කුඩා අවධියේ ඉහත සඳහන් කළ සුරංගනා කතා කියැවීමේදී හා නැරඹීමේ දී ඇති වූ හැඟීමම නැවත ඇති කිරීමට සමත් වීම මා ඉමහත් සතුටට පත් කළේ ය.
කොරියැන්ඩර් කියැවීමේ දී මා තවදුරටත් ඒ බොළඳ කුඩා දැරිය නොවන බව පසක් වූයේ කොරියැන්ඩර් ගේ කතාව තුළින් මා ඊට වඩා දෙයක් දුටු බැවිනි.
අරයිස් ෆෙල් වැනි චරිත වලින් සැලී ගාඩ්නර් කතුවරිය නියෝජනය කොට ඇති අන්ධ භක්තික, ආගම දඩමීමා කරගනිමින් අනෙකුන්ට හිංසා කරවන ආත්මාර්ථකාමී,
චරිත ද,
මෝඩ් ලෙග්ස් වැනි අවස්ථාවාදී ගැහැනුන් ද,
රෝස්මෝර් වැනි කුරිරු රැජිණන් ද,
ක්‍රෝනස් කපුටා වැනි දුදනන් ද,
මාස්ටර් තෑන්ක්ලස්, ඩේන්ස්, ගේබ්‍රියෙල්, ටයිකෝ, මේඩ්ලර් වැනි සැබෑම කරුණාවන්තයින් ද,
කැප්ටන් බේලි වැනි සැබෑම මිනිසුන් ද,
මිස්ට්‍රස් ජෝන් වැනි කිසිවක හොඳක් නොදකින, සර්ව අසුබවාදී චරිත ද,
එඩ්මන්ඩ් වැනි ධනයෙන්, බලයෙන් පිම්බුණු, පුහු අහංකාරයින් ද,
වසර හාරසියයකට පමණ පසු අදටත් අප නොදකින්නේ යැයි කිව හැක්කේ කාට ද? ඉතිහාසය නැවත නැවතත්, වෙනස්ම ආකාර වලින් සිදුවෙමින් පවතින බව සැලී ගාඩ්නර් කතුවරිය අපට පෙන්වා ඇත.
සාම්ප්‍රදායික සුරංගනා කතා සැකිල්ලෙන් ඔබ්බට ගොස් අතිශයින්ම නැවුම් ආකෘතියකින් පාඨකයා වෙත ගෙන එන කොරියැන්ඩර් කතාන්දරය පාඨකයාගේ සිතට දනවන්නේ නැවුම්ම, ආදරණීයතම, බොහෝ සැනසිලිදායක හැඟුමකි. මා'තින් කොරියැන්ඩර් පිළිබඳව මෙතරම් දිගු සටහනක් ලියැවෙන්නට ඇත්තේ ඒ නිසාම යැයි ද මම සිතමි. මම තවමත් තේම්ස් නදිය අසළ කොරියැන්ඩර් හොබීගේ නිවසේ ද, බ්‍රිජ් මාවතේ මාස්ටර් තෑන්ක්ලස් ගේ සාප්පුවේ ද, සැරිසරමින් ඒ දර්ශන තල වල සුන්දරත්වය විඳිමින් සිටිමි.
කොරියැන්ඩර් ලියැවුණු කාල වකවානුව ද, එහි කියැවෙන ඇතැම් ස්ථාන වන නිව්ගේට් සිරගෙය, ලුඩ්ගේට්, මිනිසුන් එල්ලා මැරෙන ටයිබර්න්, ලියොන් ගාෆීල්ඩ් විසින් රචිත, චන්දන මෙන්ඩිස් මහතා විසින් ගැට කපන පුංචා ලෙස පරිවර්තනය කරන්නට යෙදුණු SMITH කතාව ද සිහි ගැන්වී ය. ඒ නිසාම බොහෝ දිගු කාලයකට කොමාවක් තබා තිබූ මගේ කියැවීම ඇරඹූයේ නිවැරදිම පොතෙන් යැයි මම හඟිමි.
කොරියැන්ඩර් සිංහල පරිවර්තනය කුඩා දරුවෙකුට කියැවීම ආරම්භ කිරීම සඳහා සුදුසු පොතක් ලෙස මා දකින්නේ ඒ කතාන්දරයේ සුන්දරත්වය, එමඟින් පාඨකයාගේ මනසට කාවද්දන වටිනා පණිවුඩ නිසාම පමණක් නොව, චාරුණ්‍යා දෙහිගම මහත්මිය, ගලායන දිය දහරක් වැනි මෘදු, සරල, මටසිළුටු, පහසුවෙන් වටහා ගත හැකි බස් වහරින් එය පරිවර්තනය කර ඇති නිසා ය.
කොරියැන්ඩර් කියැවූවෙකුට නම්, කොරියැන්ඩර්ගේ ලෝකයෙන් ලැබෙන චමත්කාරජනක හැඟීමෙන් ගැළවීමට එතරම් පහසු නොවෙනු ඇතැයි මට හැඟේ..
ප.ලි.
කොරියැන්ඩර් කෘතියේ ලියැවී තිබුණු මා සිත්ගත් වැකි කිහිපයක් පහතින් අමුණා තබමි. එමඟින් සැලී ගාඩ්නර් කතුවරිය ලබා දීමට උත්සහ කර ඇති පණිවුඩය කෙතරම් පුළුල්දැයි වටහා ගත හැකිවනු ඇත.
"පරණ ලෝකය හේදිලා ගිහිල්ලා. අලුත් මෝඩයො ගොඩක් බිහි වෙලා. පරිස්සම් වෙන්න. ඒගොල්ලො ළඟ ඉන්නේ සමාවක් නොදෙන දෙවියෙක්."
"අපි ආලෝකය තියෙන පොඩි වෙලාවක නටන සෙවණැලි විතරයි"
"අපි ජීවත් වෙන්නෙ මැරෙන්න. අනිත් අතින් අපි මැරෙන්නෙ සදාකාලිකව ජීවත් වෙන්න"
"එයා වෙන මිනිස්සු වගේ හැමදේම හොඳින් වෙන්න ඕනෑ කියලා ප්‍රාර්ථනා කළේ නෑ. එයා එයාගේ ඉරණම හරිම ලස්සනට භාරගෙන තව කෙනකුට පිහිට වෙන්න තරම් කාරුණික හදවතක් ඇතිව හිටියා"
"පැටියෝ, කවුද ජීවත් වෙන්නේ කවුද මැරෙන්නෙ කියන දෙයට සාධාරණ කමක් නැහැ, මරණය අපි කාටවත් නොතේරෙන ලොකු ප්‍රහෙළිකාවක්.
"වචන ඕනෑ පැත්තකට හරවන්න පුළුවන්"
ඒ අතුරින් පහත වැකිය මගේ මනස තුළ යළි යළි දෝංකාර දීමට සමත් විය.
'... ස්වභාවධර්මයාට අවැසි වූ විට මිනිසුන්ගේ කළ කලකෝලාහල සියල්ල අබිබවා යන තරමට සැහැසි විය හැකි බව මම තේරුම් ගතිමි.'



Comments
Post a Comment