ළූණු සහ කඳුළු, ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

 

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මිය විසින් පරිවර්තනය කරන ලද ළූණු කඳුළු පොත, මෙක්සිකානු ජාතික ලෝරා එස්ක්විල් විසින් රචනා කරන ලද como agua para chocolate යන කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයේ සිංහල පරිවර්තනයයි. 

කවරයේ සඳහන් අන්දමටම මෙට, කෑම වට්ටෝරු, ප්‍රේම බන්ධන හා ගෙදර දොරට අවැසි දැනුම පිරි මාසික සඟරාමය නවකතාවකි. 

ටීටා නමැති තරුණිය වටා ගෙතී ඇති මෙම නවකතාව කියනු ලබන්නේ ටීටාගෙ වැඩිමහල් සොයුරිය වූ රොසයුරාගේ දියණියගේ දියණිය විසිනි. සොයුරියන් තුන්දෙනෙකුගේ පවුලේ බාලයා වූ ටීටාට ඇගේ ප්‍රේමවන්තයා වූ පෙඩ්‍රෝව අහිමිව යන්නේ ඇගේ පවුලේ පැරණි කුරිරු සම්ප්‍රදායක් නිසාය. ඈට පෙඩ්‍රෝව අහිමිවනවා පමණක් නොව, පෙඩ්‍රෝ තම වැඩිමහල් සොයුරිය රොසයුරාව විවාහ කරගැන්මද ඈ දරා ගත යුතු වේ. කතාව පටන් ගන්නේ එතැනිනි. 

සාම්ප්‍රදායික ආදර කතා තේමාවෙන් ඔබ්බට ගිය මෙම නවකතාව, ආදරය පමණක් නොව කෑම වට්ටෝරු, ඉවුම් පිහුම් ක්‍රම, මායාව, අද්භූත බව, ආදී සියල්ලෙන්ම නොඅඩු කතාවකි. එබැවින් මෙය සැබෑ ලෝකයේ සැබෑවටම සිදුවන ආදර කතාවක් ලෙස සැලකීමටද නොහැකිවාක් මෙන් දැනේ. එහෙත් එම මායාමය ස්වාභාවය හැරුණු විට එය සිදුවිය හැකි ආකාරයේ නමුත් එහෙත් විශේෂාකාරයේ නවකතාවකි. 

මන්ද යත්, ආදර කතාවක් සුන්දර දර්ශනීය ස්ථානයක්, කාමරයක්,නිවසක් පදනම් කරගෙන ලිවිය හැකි වුවද, ආදර කතාවක් උයන ගෙයක් එනම් මුළුතැන්ගෙයක් කේන්ද්‍ර කරගෙන ලිවිය හැක්කක් බවට මට දැනවීමට සමත් වූ පළමු නවකතාව මෙය වීම නිසාය. එසේම මාස දොළහක්, එනම් පරිච්ඡේද දොළහක් තුළට වසර විසි දෙකක කාලයක් ගොනු කර තිබීමද තවත් වෙසෙසකි. 

කතාව මුළුල්ලේම 'කට අවුස්සන සුළු' රසවත් ආහාර වට්ටෝරු පිළිබඳ විස්තර කර ඇති ආකාරයත්, ඒවා කතාවේ අමතර කරුණු ලෙස නොව, කතාවට සම්බන්ධ වන අයුරින් ලියා තිබීමද අපූරුය. 

ළූණු සහ කඳුළු නවකතා කලාවේ වෙනත්ම පැතිකඩක් නියෝජනය කරන්නක් වන්නේ මේ නිසාය. 

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මියගේ අනෙක් පරිවර්තන සේම මෙයද සුපුරුදු පරිදි සාර්ථක පරිවර්තනයකි. ඇගේ සරල භාෂා භාවිතය ඇගේ පරිවර්තන සාර්ථක වීමට වඩා වැදගත් හේතුවක් වී ඇත. 

කිව යුතු දෙයක් ඇත. මෙම කෘතිය කියැවීමට මා පෙළඹවූයේ, එහි අමුතු ආකාරයේ නම, මනබඳනා කවරය හා එය ගංගා මහත්මියගේ පරිවර්තනයක් වීම යන කරුණුය. එහෙත් එම තෝරාගැනීම වඩා හොඳ තෝරාගැනීමක් බව වැටහුණේ ළූණු සහ කඳුළු කෘතිය ඉතාම නැවුම් තේමාවක් සහිත නවකතාවක අත්දැකීමක් මට ලබාදුන් බැවිනි. 

Comments