ෂින්ඩ්ලර්ගෙ දරුවෝ, සුදාරි බස්නායක
සැබෑ ජීවිතයේදී සැබෑවටම යුද්ධයට මුහුණ දී නැති, යුද්ධයක් පැවති කාලයකදී ළදරු වයසක පසු වූ අප සැබැවින්ම යුද්ධයක් ගැන දන්නේ මොනවාද?යුද්ධයකට සැබැවින්ම මුහුණ දුන් අයෙකුගේ අත්දැකීම් කියැවූ විට අපට හැඟෙන්නේ ඒ අයුරිනි. The boy on the wooden box, පළමු ලෝක යුද්ධයට සැබැවින්ම මුහුණ පෑ පෝලන්ත යුදෙව් ජාතිකයෙකු වූ ලියොන් ලීසන් විසින් රචනා කරන ලද්දකි. ෂින්ඩ්ලර්ගේ දරුවෝ නමින් මෙම කෘතිය සිංහල බසට පරිවර්තනය කොට ඇත්තේ සුදාරි බස්නායක මහත්මිය විසිනි.
පරිච්ඡේද 10කින් යුක්තව පිටු 139ක් පුරා දිවෙන මෙම කෙටි නවකතාව මඟින් අපට පළමු ලෝක යුද්ධය පිළිබඳ ලබා දෙන හැඟීම නම් කෙටි නොවේ. ලියොන් ලීසන් ඇතුළු ඔහුගේ පවුලේ උදවිය පෝලන්තයේ නර්ව්කා ගම්බද පෙදෙසේ සිට ක්‍රැකෝ නගරයේ පදිංචියට පදිංචියට පැමිණෙන්නේ ලියොන්ගේ පියා වූ මෝෂේ, රැකියාවේ නිරත වන්නේ එහි කම්හලක බැවිනි. එහි පැමිණ ටික කලකින් හිට්ලර්ගේ ජර්මන් නාසි හමුදා මඟින් සමූල යුදෙව් ඝාතනය අරඹන අතර, එයට එරෙහිව ලෝකයේ අනෙක් රටවල් ද සම්බන්ධ වීමත් සමඟ එය ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වේ.
ලීසන් පවුල හා බහුතරයක් වන පෝලන්ත යුදෙව් ජාතිකයින් මේ නිසා ලක්වන්නේ ඉමහත් පීඩනයකටය. ඔවුන් නාසි හමුදා වල ඉවසිය නොහැකි තාඩන පීඩන වලට ලක් වේ. බොහෝ විට යුදෙව්වන්ගේ අවසානය වන්නේ මරණයයි. ඔවුන් කන්නට බොන්නට හෝ අඳින්නට නැත. ප්‍රමාණවත් නින්දක් නැත. එහෙත් ඔවුන් නාසි හමුදා කඳවුරු වල පැය 12ක පමණ වැඩ මුරයක නිරත විය යුතු විය. ඊළඟ මොහොත ජීවිතයද මරණයද නොදැන ඔවුන් ජීවත් වූයේ කෙසේද? ශාරීරික අපහසුතාවන් දරාගත්තේ කෙසේද? ලෙඩ රෝග වලට ලක්වූ විට ක්‍රියා කළේ කෙසේද? තම ආදරණීයයන් මියෙන බව, මියගිය බව දැන දැන ඉවසා සිටියේ කෙසේද? මේ ප්‍රශ්න සියල්ල පොත කියවද්දී නැගෙන ගැටළු වන අතර, ඉතා කෙටි නවකතාවක් වුවත් එහි විස්තර කිරීම කෙතරම් ප්‍රබලද යන්න එමඟින් වැටහෙනු ඇත.
ෂින්ඩ්ලර්ගේ දරුවෝ යන නම පොතට යොදා ඇති හේතුව, වැටහෙන්නේ පොතෙන් අඩකටත් වැඩිය කියවූ පසුවයි. බොහෝ මිනීමරු, කෲරතර, සාහසික ජර්මානු නාසි හමුදා භට පිරිස් අතරේ ඔස්කාර් ෂින්ඩ්ලර් යනු මිහිපිට දෙවියෙක් බව කීම නිවැරදිය. නාසි හමුදාවන් සමඟ සූක්ෂ්ම ලෙස සබඳතා පවත්වාගනිමින්, තම ධනය වැය කරමින් ඔහු යුදෙව්වන් එක්දහස් දෙසිය ගණනක් මරණයෙන් බේරා ගැනීමට කැප වන්නේ දිවි පරදුවට තබමිනි. බොහෝ රුදුරු මිනිසුන් අතර මානුෂීයත්වයෙන් පිරි එකදු හෝ මිනිසෙක් සිටිය හැකි බව මේ කෘතියෙන් මනාව පසක් වේ.
සරල බස් වහරින් යුත් මෙම පරිවර්තනය ඉතා සාර්ථක බව කිව හැකිය.එසේම සිංහල කෘතියට නම යෙදීමේදී ද ඈ මෙම කතාවට ඉතාම සුදුසු නම තෝරාගෙන එයින් ද සාර්ථක වී ඇති බව කිව යුතුමය.



Comments
Post a Comment