බක්, චාරුණ්‍යා දෙහිගම
මිනිසුන් ගැනම වූ නවකතා කියවා හුරුව තිබූ මට, සත්ත්වයෙක් පිළිබඳව වූ නවකතාවක් කෙසේ දැනේදැයි මා කෙදිනක්වත් සිතා තිබුණේ නැත. සිත් ගන්නා සුළු කවරයක් තිබුණු පොතක් වූ බක් කියැවීම මා ඇරඹුවේද ඒ ගැන සිතා නොවේ.
Charunnya Dehigama මහත්මියගේ සරල, සුන්දර භාෂා රටාවෙන් හැඩ වූ බක්, එලෙසම සරල, සුන්දර කතාවකි. බක් නමැති සුනඛයෙකු වටා ගෙතුණු මේ කුඩා නවකතාව Jack London ගේ Call of the wild නවකතාවේ සිංහල පරිවර්තනයයි.
කතාවට පසුබිම් වී ඇති පරිසරය පවා නුහුරු, කර්කශ පරිසරයකි. එහෙත් එය කියවාගෙන යෑමේදී එවන් පරිසරයකට යෑමට ඇත්නම් යැයි මට සිතුණු වාර අපමණ ය. අතිශය සුන්දර චිත්ත රූප මාලාවක් මවමින් චාරුණ්‍යා මහත්මියගේ සරල භාෂා රටාව, කතාවේ ගලා යෑමට මනා පිටුවහලක් වී ඇත.
විටෙක සතුන් සම්බන්ධයෙන් අතිශය වේදනාකාරී හැඟීම් ද, තවත් විටෙක අතිශය ප්‍රීතිජනක හැඟීම් ද ඇති කරවමින් දිවෙන මේ කෘතිය, සතුන් පිළිබඳව අපව නැවතත් සිතීමට යොමු කරන්නක් මෙනි. බක්ගේ කතාව මුළුල්ලේ හමුවන චරිත අතුරින් ඩේව්, නිග්, ස්කීට්, තෝර්න්ටන් හා ස්පිට්ස් මට අමතක කළ නොහැකි චරිතයන් ය.
ප්‍රීතිය හා ශෝකය සම්මිශ්‍රණය වූ සුන්දර අවසානයක් සනිටුහන් කරන බක්ගේ කතාව පාඨකයාට, සත්ත්වයෙකුගේ දෑසින් ලෝකය දෙස බැලීමට මඟ පෙන්වයි. එසේම පාඨකයාව ඒ පරිසර තුළට ද ගෙනයන්නේ, ඒ හැඟීම් සැබෑවටම විඳීමට සලස්වමිනි. ඒ භාවයන්, ඒ චිත්ත රූප එලෙසින්ම සිංහල පාඨකයාට ලබා දෙමින් සිදුකර ඇති පරිවර්තනයද අතිශය සාර්ථක ය. මන්දයත්, එතරම් දෙබස් ප්‍රමාණයක් නොමැති, නව මානයකින් ලියැවී ඇති බක්ගේ කතාව අවසානය තෙක්ම කියැවීමට පාඨකයාව පොළඹවන්නේ එහි භාෂා භාවිතය හේතුවෙන් වන බැවිනි. එසේම කෙතරම් සුන්දර කතාවක් වුවද, එය අවසන තෙක් පාඨකයාගේ කියැවීම හෝ නොකියැවීම තීරණය කරනු ලබන්නේ ද ඉහත සාධකයම බැවිනි.



Comments
Post a Comment