වැස්ස, ඉසුරු හිදැල්ලආරච්චි

 


කවරයද නමද එකසේම බොහෝ සෙයින් සිත් ගත් බැවින් 'වැස්ස', මා කියැවීමට නොඉවසිල්ලෙන් සිටි කෘතියකි.

වැසිබර කාලගුණය අතිශයින්ම ප්‍රිය කරන්නියක ලෙස වැසිබර සැඳෑවක මා වැස්ස කියැවීම ඇරඹුවේ කතාව මෙසේ වෙතැයි යම් රූපයක් ද මවාගෙනය. එහෙත් මා මවාගත් තේමාව හෝ ඊට ගෑවී නොගෑවී යන කොටසක් හෝ 'වැස්සේ' නොතිබුණු  තරම් ය. වැස්ස තරම් සරල නුවූ 'වැස්ස', අසෙනි වැස්සක් සේ  යම් සංකීර්ණ බවකින් හා පැටළුම් සහගත ලෙසකින් මම දුටුමි. ඉන් ඇති වූ කුතුහලය ද මේ තරම් යැයි කියන්නට නුපුළුවන. එහෙත් ඒ පැටළුම් සහගත සංකීර්ණ බවේත් කුතුහලයේත් වූයේ සුන්දරත්වයකි. මන්ද යත් කතාව අවසන වන තෙක්ම හුස්මක් ගන්නට පවා පාඨකයාට ඉඩ හසරක් ලබා නොදී අවසානය තෙක්ම ඔහුව 'එළවාගෙන යන්නේ' ඒවායෙන් බැවිනි. 

බිඳක්වත් කුතුහලය අඩු නොවී කතාව ගලා යන්නට ඉඩ හැර තිබීම ලේඛකයාගේ අපූරු හැකියාව පිළිබිඹු කරවයි. කතාව අවසානයේ දී නම් අතිශයින්ම බලාපොරොත්තු කඩ වූ බව කිව යුතුමය. ඒ, 'වැස්සේ' අවසානය වැස්සක් කෙළවර ලද අකුණු පහරක් බඳු නිසාවෙනි. ඒ අපේක්ෂා භංගත්වය පාඨකයාව ලෝක දෙකක අතරමං කරවීමට සමත් ය. එසේම ඉන් පාඨකයාට ලබාදෙන  පොතක් කියැවීමෙන් ලැබෙන තෘප්තිය ද මේ යැයි කිව නොහැකි බැවිනි. මන්ද යත් ඒ 'වැස්සේ' අවසානය එතරම් නැවුම් නිසා ය. කෙතරම් අනපේක්ෂිත අවසානයක් වුවද ඒ 'අවසානයේ අවසානය' වඩාත් සුන්දර එකක් වන නිසා ය. 

වැස්ස කියවා දින කිහිපයක් යනතුරු මට ඒ සිදුවීම් යළි යළි සිහියට නැගුණි. ඒ, එවන් 'මගේ හිතට වැදෙන' අවසානයක් සහිත පොත් මා කියවා ඇත්තේ අල්පයක් වන බැවිනි. අවසන, 'වැස්ස', පොද වැස්සක් නොවන බවත් කුණාටුවක්ම වන බවත් කිව යුතු ය. එපමණක් නොව, ඒ වට වැස්සෙන් පාඨකයාට නැවුම් අත්දැකීමක් ලබාදීමෙහි ලා එහි නිර්මාණකරු වන Isuru Umayanga Hidellaarachchi සොයුරා අතිශය සාර්ථක වී ඇති බව සටහන් කළ යුතුම ය. 

ප. ලි. 

Do NOT judge a book by its cover.

Comments